March 19, 2024

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2025 ජනවාරි දක්වා කල්දැමීමට තීරණය වී තිබියදීත් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව එය නොසළකා හරිමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරගෙන යන බවට ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව චෝදනා කරයි.

එම එකමුතුව පෙන්වාදෙන්නේ මේ සම්බන්ධයෙන් 2024 පෙබරවාරි 06 වැනි දින මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2025 ජනවාරි දක්වා කල් දැමිය යුතු බවට ඒකමතිකව තීරණය කෙරුණු බවයි.

එම තීරණය රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.අතුල කුමාර විසින් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව වෙත ලිඛිතව දන්වා තිබියදීත් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව විසින් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම ලිපිය නොසළකා හැර ඇති බව එම එකමුතුව පෙන්වා දෙයි.

ඒ නුව මෙම කමිටුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කර ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආයෝජකයන් කැඳවීම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම පිළිබඳ තම එකමුතුව දැඩි ලෙස අප්‍රසාදය පළ කරන බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසයි.

ඔවුන් ප්‍රශ්න කරන්නේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ අත්තනෝමතික ක්‍රියාවලිය සිදු කරන්නේ කාගේ උවමනාවටද යන්නයි

ලිට්‍රෝ ගෑස් ලංකා(Litro Gas Lanka Ltd. (LGL)) සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්(Litro Gas Terminals (Pvt) Ltd. (LGT)) මිලදී ගැනීම සඳහා ආයෝජකයන්ගෙන් කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලීම් 14ක් ලැබී ඇති බව පසුගිය දා වාර්තා විය.

එහිදී වැඩිදුරටත් වාර්තා වුණේ ලැබුණු යෝජනා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ සාකච්ඡා කමිටුව නම් කරන ආරම්භක කමිටුව විසින් සළකා බලා ඇති බවයි.

ලිට්‍රෝ සමාගම මිලදී ගැනීමට කැමැත්ත පළකර ඇත්තේ පහත දැක්වෙන දේශීය සහ විදේශීය සමාගම් ය.

01. Epdesa Pte Ltd, සිංගප්පූරුව
02. භාරත් පෙට්‍රෝලියම් කොප්, ඉන්දියාව
03. Ayaz Anonim Sirketi, තුර්කිය
04. SiamGas සහ Petrochemicals Public Company Limited, තායිලන්තය
05. BGN Int DMCC, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
06. Confidence Petroleum India Limited, ඉන්දියාව
07. OQ Trading Limited, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
08. Tristar Group, එක්සත් අරාබි එමීර් රාජ්‍යය
09. ලාෆ්ස් ගෑස් PLC, ශ්‍රී ලංකාව
10. යුනයිටඩ් පෙට්‍රෝලියම් හෝල්ඩින්ග්ස්, මැලේසියාව
11. Vitol Asia Pte Ltd, සිංගප්පූරුව
12. Infinity NGC, Sri Lanka, ශ්‍රී ලංකාව
13. China National Aero Techno, ශ්‍රී ලංකාව
14. Consulting Engineers & Contractors, ශ්‍රී ලංකාව

 

42.31%
17.27%
32.76%