October 22, 2023

විදේශ සංචිත පවතින ප්‍රමාණය අනුව ලබන වසරේ සිට රජය විසින් වාහන ආනයන ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට නියමිත බව වාර්තා වේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ, භාණ්ඩාගාරයේ, මහ බැංකුවේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ වාහන ආනයනකරුවන්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් මගින් එම ප්‍රතිපත්තිය සකස් කරමින් සිටින අතර එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනුමත කළ යුතු බවයි.

පැරණි වාහන සඳහා වැඩි අමතර කොටස් අවශ්‍ය වන බැවින්, එමගින් විදේශ සංචිත ඉවතට ගලායෑම සළකා වසර දෙකක් පැරණි වාහන ආනයනය කිරීමට පමණක් අවසර දීම ප්‍රතිපත්තියට ඇතුළත් කිරීමට නියමිත යෝජනා අතර වේ.

එසේම, අවශ්‍ය වාහන කාණ්ඩ පිළිබඳව අධ්‍යයනයකට අවසර දෙනු ලබන අතර, ආනයනට අවසරය හිමිවනු ඇත්තේ එම අදාළ කාණ්ඩ සඳහා පමණි.

ඒ අනුව, ප්‍රතිපත්තියේ ප්‍රමුඛත්වය 1000 CC සහ 1300 CC යන කුඩා ධාරිතාවකින් යුතු වාහන සඳහා වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

ආනයනකරුවන්ට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට ද නියමිත අතර, ආනයන කාලය මාස තුනේ සිට හය දක්වා වන පරිදි සීමා පැනවීමක් ද සිදුවනු ඇත.

වාහන බලපත්‍රලාභින් විසින් වාහන විකිණීම වැළක්වීම සඳහා තීරුබදු රහිත යෝජනා ක්‍රම යටතේ ආනයනයන්ට සීමා පනවනු ලැබේ.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන්නේ, මෙම යෝජනා ක්‍රමය සකස් කරමින් පවතින නමුත් එය විදේශ සංචිත තිබීම මත පදනම් වනු ඇති බවයි.

කෙසේවෙතත්, භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ, ඩොලර් මිලියන 800කට ආසන්න ඇස්තමේන්තුවක් යටතේ ආනයන සීමා ඉවත් කිරීමට අවසර ලබාදීමට මෑතක දී ගත් තීරණය විදේශ සංචිතවලට බලපෑම් ඇති කරන බැවින් තීරණයක් ගැනීමේදී කල්පනාකාරී වියයුතු බවයි.