November 25, 2023

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කියන කැබිනට් පත්‍රිකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ඊයේ (24) නියම කර තිබේ.

ප්‍රමිතියෙන් තොර බාල ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරල්වරයා ඇතුළු දෙදෙනකුගෙන්ද මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සිවුදෙනකුගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ ගැනීමටද මහේස්ත්‍රාත්වරිය අවසර දී තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන “ඉමියුනෝග්ලෝබින්” නැමැති ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුව’ කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ
විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටයත් දුන් ණය මුදල්වලින් මෙරටට ඖෂධ ගෙන්වීම සහ ඊට අදාළ ක්‍රමවේද මොනවද යන්න හෙළිකර ගැනීමට අවශ්‍ය වී ඇතැයිද අදාළ මුදල් භාණ්ඩාගාරයට ලැබුණු අන්දම සහ ඒවා වියදම් කළ ආකාරය හෙළිකර ගැනීමට අවශ්‍ය වී ඇතැයිද දැනුම් දුන් නිලධාරීන් මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය වී ඇතැයිද කියමින් ඒ සඳහා අවසර ඉල්ලා තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ කේ.එම්.එම්. සිරිවර්ධන සහ නියෝජ්‍ය ලේකම් රත්නායක යන අයගෙන් ප්‍රකාශ ගැනීමට අවශ්‍ය වී ඇතැයි දැනුම් දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය අදාළ කැබිනට් පත්‍රිකා එම දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත එම තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් ලේඛන අවශ්‍ය වී ඇතැයි කියමින් රහස් පොලිස් නිලධාරීන් කළ ඉල්ලීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය අදාළ ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදෙන ලෙසද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට නියම කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා එම තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් ලේඛන අවශ්‍ය වී ඇතැයි කියමින් රහස් පොලිස් නිලධාරීන් කළ ඉල්ලිමකට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය අදාළ ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට නියම කර ඇත.

මේ අතර ප්‍රමිතියෙන් තොර බාල ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය අදාළව විදේශ ගමන් තහනමක් පනවා ඇති වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධර්මසිරි රත්නකුමාර අපේක්ෂිත ඇපයක් මත මුදාහැරීමට නියම කරන්නැයි ඉල්ලමින් ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ බඩු සම්බන්ධයෙන් සහ විභාග වෙමින් පවතින නඩු සම්බන්ධයෙන් අපේක්ෂිත ඇප නියම කිරීමට හැකියාවක් නැතැයි පෙන්වා දී තිබේ.

 

42.31%
17.27%
32.76%