March 24, 2025

හම්බන්තොට වරාය ආසන්න මුහුදේ කොරල්පර වර්ධනය වීමට පටන් ගෙන ඇති අතර, ඒවා මේවනවිට පර්යේෂණ ව්‍යාපෘතියක් හරහා පෝෂණය කර අධ්‍යයනය කරමින් පවතින බව වරායේ මෙහෙයුම් සිදුකරන චීන සමාගම පවසයි.

වරාය පරිපාලනය පෙන්වා දෙන්නේ, ‘හරිත වරායක්’ යන පරිසර හිතකාමී ප්‍රතිපත්ති මගින් වරායේ දියකඩන ඔස්සේ සහ කෘත්‍රිම දූපතේ විවිධ කොරල්පර විශේෂවල ස්වස්වාභාවික වර්ධනය සඳහා අභය භූමියක් සපයා ඇති බවයි.

වරාය වෙනුවෙන් වියළි භූමිය හාරා පසුව මුහුදු ජලයෙන් පුරවා ඇත. කෘත්‍රිම දූපත ගොඩනඟා ඇත්තේ කැණීම් කරන ලද ද්‍රව්‍යවලිනි.

“මෙම ව්‍යාපෘතිය ආරම්භ වන්නේ හම්බන්තොට අන්තර්ජාතික වරායෙන් පෝෂණය වන පරිසර පද්ධතියෙන්. වරායේ දියකඩනය සහ ද්‍රෝණිය තුළ සශ්‍රීක කොරල්පර කිහිපයක් වර්ධනය වී තිබෙනවා. මෑතකදී, අපි තීරණය කළා මෙම ස්වාභාවික වර්ධනය සරලව පෝෂණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව. එබැවින් මෙම සංසිද්ධිය විද්‍යාත්මකව විමර්ශනය කිරීමටද අවශ්‍යයයි” හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහයේ ප්‍රධාන විධායක විල්සන් කු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හරිත වරාය සංකල්පය කාර්මික ක්‍රියාකාරකම් සහ පාරිසරික සංරක්ෂණය අතර සමතුලිතතාවයක් ඇති කරන අතරම වරායේ පාරිසරික බලපෑම් අවම කරයි.

කොරල්පර ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය විසින් කොරල් ආවරණය, විශේෂ විවිධත්වය සහ මත්ස්‍යයන්, අපෘෂ්ඨවංශීන් සහ ඇල්ගී වැනි විවිධ සාගර ජීවීන්ගේ පැවැත්ම තක්සේරු කිරීම සඳහා පුළුල් මූලික අධ්‍යයනයක් සිදුකරනු ඇත.

ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ ධීවර හා සාගර විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.එෆ්.එම්. ෆයිරෝස් පවසා ඇත්තේ, ඉදිරි මාස පහ තුළ මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වමින් අධීක්ෂණ ප්‍රයත්නයන් මෙහෙයවනු ඇති බවයි.