February 27, 2025

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගණේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණ වී ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනය සිදුකළ තුවක්කුකරු එම ස්ථානයෙන් පළායෑමට යොදාගත් වෑන් රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී වැදගත් කරුණු අනාවරණය වී තිබීම විශේෂත්වයකි.

ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනයට දින කිහිපයකට පෙර මෙම වෑන් රථය තිබී ඇත්තේ ‘මීගස්ආරේ කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කළ මිද්දෙනිය ප්‍රදේශයේ බව අනාවරණය වී තිබේ.

දැනට රැඳවුම් නියෝග යටතේ සිටින අදාළ වෑන් රථයේ රියැදුරු 16 වැනිදා මිද්දෙණියට ගොස් එදින රාත්‍රියේ මිද්දෙණිය පොලිසිය අසල හෝටලයක නවාතැන් ගෙන 17 වැනිදා ආපසු පැමිණ ඇතැයි අනාවරණ වී තිබේ.

පෙබරවාරි 18 වැනිදා මිද්දෙණියේදී ‘මීගස්ආරේ කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ දරුවන් වෙඩිතබා ඝාතනය කර තිබිණි.

ඒ අනුව, මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනය සහ ගණේමුල්ල සංජීව ඝාතනය අතර සම්බන්ධතා පවතින්නේ ද යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන් මේ වනවිට පරීක්ෂණ සිදුකරමින් සිටියි.

ඒ සමගම, මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකුගෙන් දින 90ක රැඳවුම් නියෝග යටතේ මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි.

ජීවන්, නේවි රුවන් සහ සිඟිති කළු යන අන්වර්ථ නාමවලින් හඳුන්වන සැකකරුවන් දැනට ඩුබායි හි පදිංචි ‘බැකෝ සමන්’ නමැත්තාගේ උපදෙස් මත මෙම ඝාතන සිදුකර ඇති බවට විශ්වාස කෙරේ.

මීට අමතරව, මිනුවන්ගොඩ – පත්තදූවන මංසන්ධියේදී ඊයේ සිදුවූ වෙඩිතැබීමකට සම්බන්ධ සැකකරුවකු පොලීසිය හඳුනාගෙන තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙයවූ බවට සැකකරන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමඟ සමීපව ඇසුරු කළ බවට සැළකෙන ත්‍රිරෝද රථ රියදුරකු එම වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට රෝහල්ගත කර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි.