February 25, 2024

ජීවිත හා දේපළ අහිමිවීමට පවා තුඩුදිය හැකි මහා විනාශයක් වළක්වා ගැනීමට සමනලවැව ජලාශයේ අත්‍යවශ්‍යව තිබූ අලුත්වැඩියා කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධිත Sri Lanka Energies Ltd සමාගමට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වේ.

නම හෙළිකිරීමට අකමැති වූ විදුලිබල මණ්ඩලයට අනුයුක්ත ඉංජිනේරුවකු චෝදනා කර ඇත්තේ, එම සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් සමනලවැව ජලාශයේ අලුත්වැඩියා කටයුතු කිරීමට ඉඩ ලබානොදෙන බවයි.

“ජලාශයේ කාන්දුවීම් මගින් පහළට ගලායන ජලය, කුඩා ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක කරන එම ආයතනයට ප්‍රතිලාභයක්. කාන්දුව නතර කළහොත් කුඩා ජලවිදුලි බලාගාරය වසාදැමීමට සිදුවනවා. මෙම කුඩා ජල විදුලි බලාගාරයේ මෙහෙයුම්වලට අනුබද්ධ අනෙකුත් පෞද්ගලික ව්‍යාපාරවලින් තමන්ට ලැබෙන ලාභය අහිමි වෙයි කියලා සමාගමේ නිලධාරීන් බයයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

Sri Lanka Energies Ltd සමාගමේ 2019 වාර්ෂික වාර්තාවට අනුව, ඔවුන් විසින් කුඹල්ගමුව කුඩා ජලවිදුලි බලාගාරය ක්‍රියාත්මක කරනු ලබයි.

පසුගිය වසරේ සමනලවැව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩු වූ විට විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතනවල නිලධාරීන් එම කාන්දුව පිළිසකර කිරීම සඳහා නැවත මෙවැනි අවස්ථාවක් නොඑනු ඇති බවට විදුලිබල මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර තිබිණි.

පසුගිය වසරේ මෙම ක්‍රියාවලියට උපදෙස් දුන් එක් නිලධාරියෙක් පවසා ඇත්තේ, වේල්ල කැඩීයෑමේ අවදානම උඩවලව ජලාශයේ පහළ අම්බලන්තොට දක්වා ප්‍රදේශවල වෙසෙන දහස් ගණනකට අහිතකර ලෙස බලපෑ හැකි බැවින් අවදානම පිළිබඳ ඒ අවස්ථාවේ දැනුම්දුන් බවයි.

තවද, කාන්දුව වැඩි වූ විට උත්පාදනය වන ශක්තිය ද වැඩි වූ බැවින් Sri Lanka Energies Ltd සමාගම විසින් එම ස්ථානයේ තවත් කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව එම නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

එම නිලධාරීන් චෝදනා කර ඇත්තේ, සමාගම විසින් පසුගිය වසරේ අලුත්වැඩියා කිරීම කල්දැමූ විට, අඩුම තරමින් ජල මට්ටම් නැවත අඩු වූ විට අලුත්වැඩියා මේ වසරේ සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වූ බවයි.

එසේ වුවද ඔවුන් එය 2025 වසර දක්වා කල්දමා ඇති බවත්, එම තීරණය පිටුපස ඇති තාර්කිකත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් නොමැති බවටත් ඔවුහු චෝදනා කරති.

මේ අතර සමනලවැව ජලාශය දැනට 100%ක ධාරිතාවයකින් ක්‍රියාත්මක නොවන බව පවසන විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරයා, කාන්දුවීම් පිළිසකර කිරීමට හැකි නම් එය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බව සඳහන් කළේය.

කුඩා ජලවිදුලි බලාගාරය වැසීගියත් සමනලවැව බලාගාරය 100%ක ධාරිතාවකින් පවත්වාගෙන යෑමෙන් වැඩි ආර්ථික වාසියක් ලැබෙන බව ඔහු පෙන්වා දී තිබේ.

විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ, අදාළ සමාගම අලුත්වැඩියා කටයුතුවලට බාධාකරන වාර්තා අසත්‍ය බවත්, විද්‍යාත්මක තීරණ රාශියක් මත රජයේ කටයුත්තක් ලෙස එය සිදුකරනු ඇති බවයි.

සමනලවැව ජලාශය සම්බන්ධයෙන් ප්‍රතිකර්ම ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ද 2023 ඔක්තෝබර් මාසයේදී රජයට ඉදිරිපත් කර තිබිණි.

“1992 දී ජලයෙන් පිරී ගිය දා සිට එම ජලාශය කාන්දු වෙමින් තිබෙනවා. වෘත්තිකයන්ගේ අදහස්වලට ප්‍රතිචාර වශයෙන් අප මෙම මැදිහත්වීම සිදු කරන්නේ මෙම තත්ත්ව වාර්තාව සකස් කර ජල කාන්දුව නැවත්වීමට ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකා රජයට නිර්දේශ ඉදිරිපත් කරමින්. ඒ මූලික වශයෙන් ජලාශයේ, වේල්ලෙහි, මිනිසුන්ගේ සහ දේපළවල ආරක්ෂාව සහතික කිරීම සඳහායි ,” යනුවෙන් අදාළ වාර්තාවේ දක්වා තිබේ.

2023 අගෝස්තු මාසයේදී ජලාශයේ ජල මට්ටම මධ්‍ය මුහුදු මට්ටමේ සිට මීටර් 425ක් වන අවම මට්ටමට ළඟා වූ විට වේල්ලට ඉහළින්, වලවේ වම් ඉවුරේ ගිලා බැසීම් කිහිපයක් නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය පවසයි.

“බොහෝදුරට තවම නොපෙනෙන තවත් ගිලා බැසීම් සහ කාන්දුවීම් ඇති. තවද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජගත් ගුණතිලක විසින් කරන ලද අධ්‍යයනයක් මත පදනම්ව, ජලාශය ඉදිකිරීමේදී ප්‍රවේශ උමං මාර්ගයක් ලෙස භාවිත කරන ලද ‘අඩිට් ජී’ නම් උමඟ ද කාන්දුවීමට දායක වන බවට සැක කෙරෙනවා, ” යනුවෙන් ද වාර්තාවේ සඳහන් වේ.

 

42.31%
17.27%
32.76%