January 5, 2025

රජයේ මැති ඇමැතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඕනෑම නිල විදේශ සංචාරයක් කිරීමට පෙර ජනාධිපතිවරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එවැනි පිරිස් පැමිණෙන ඇතැම් අවස්ථා පිළිබඳ එම විදේශ රටවල ශ්‍රී ලංකාවේ දූත මණ්ඩලවලට දැනුම් නොදෙන බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

තවද, නිල හෝ නිල නොවන සංචාර සඳහා පැමිණෙන ශ්‍රී ලාංකික ප්‍රභූවරුන් සඳහා පහසුකම් සහ අනෙකුත් කටයුතු සංවිධානය කිරීම සඳහා ඇතැම් අමාත්‍යාංශ විසින් ශ්‍රී ලංකාවේ විදේශ රටවල දූත මණ්ඩලවලට සහ ඇතැම් අවස්ථාවල විදේශ රාජ්‍ය ආයතනවලට ඍජු ඉල්ලීම් කර ඇති බව නිරීක්ෂණය වී ඇත.

සීමිත කාර්ය මණ්ඩලයක් සහ සම්පත් සමඟ ක්‍රියාත්මක වන විදේශයන්හි ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල, ප්‍රමාණවත් පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකරන එවැනි සංචාර සඳහා පහසුකම් සලසන ලෙස ඉල්ලා සිටි විට, දුෂ්කරතා සහ අභියෝගවලට මුහුණ දෙයි.

එබැවින් විදේශ සංචාර සඳහා වන සියලුම ඉල්ලීම් දැන් විදේශ කටයුතු භාර අමාත්‍යාංශය හරහා පමණක් යොමු කළ යුතුය.

හදිසි අවස්ථාවලදී හැර සෘජු ඉල්ලීම් භාර නොගන්නා ලෙසත්, විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර පමණක් කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවලට චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත.

එසේම, විදේශගත සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස විදේශීය ප්‍රභූවරයකුට ආරාධනා කිරීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා ගත යුතු බව ද චක්‍රලේඛයේ දක්වා තිබේ.

එම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රමුඛතා සහ විදේශ ප්‍රතිපත්ති අරමුණු සමඟ එවැනි සංචාර ගැළපෙන බව සහතික කිරීම සඳහාය.

ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව, අමාත්‍යාංශ, පළාත් සභා සහ දෙපාර්තමේන්තු තුළ අදාළ සියලුම නිලධාරීන්ට මෙම මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින ලෙස උපදෙස් දී තිබේ.

 

42.31%
17.27%
32.76%