March 14, 2024

ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල සිය බල විහිදීමේ හැකියාවන් ඉහළ නැංවීමට සහ ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමේ ප්‍රයත්නයෙන් හමුදා පහසුකම් පිහිටුවීමේ හැකියාව චීනය විසින් ගවේෂණය කරමින් සිටින බව එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවේ නවතම වාර්තාවක් අනාවරණ කරයි.

මහජන විමුක්ති හමුදාව සිය බලය විහිදුවීමට සහ විදේශයන්හි චීනයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී විදේශීය හමුදා ස්ථාපනයන් සහ ප්‍රවේශ ගිවිසුම් පිහිටුවීම අඛණ්ඩව කරගෙන යනු ඇති බව එක්සත් ජනපද බුද්ධි ප්‍රජාව සිය 2024 වාර්ෂික තර්ජන තක්සේරුව මගින් ප්‍රකාශ කර ඇත.

“ජිබුටිහි සිය හමුදා කඳවුර සහ කාම්බෝජයේ රීම් නාවික කඳවුරේ හමුදා පහසුකම් සංවර්ධනය කිරීමෙන් ඔබ්බට යමින් චීනය විසින් බුරුමය, කියුබාව, සමක ගිනියාව, පකිස්ථානය, සීෂෙල්ස්, ශ්‍රී ලංකාව, ටජිකිස්තානය, ටැන්සානියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ස්ථාන කිහිපයක හමුදා පහසුකම් හඹා යාමට සළකා බලමින් සිටින බව එහි සඳහන් විය.

2035 වසර වන විට චීනය සිය හමුදාව සම්පූර්ණයෙන්ම නවීකරණය කරමින් ජාතික ආරක්ෂක සහ මිලිටරි බලකායක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවත් 2049 වසර වන විට චීන මහජන හමුදාව ලෝක මට්ටමේ මිලිටරියක් බවට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් පිටු 40කින් යුත් එම වාර්තාවේ සඳහන් වේ.

එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවේ සාමූහික බුද්ධිය ගෙනහැර දක්වන වාර්තාව පවසන්නේ, එක්සත් ජනපදය “…මහා බල තරඟය, අන්තර්ජාතික අභියෝග සහ කලාපීය ගැටුම්” වැනි අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවයි.

චීනය, ඉරානය සහ රුසියාව වත්මන් අන්තර්ජාතික නීති පාදක නියෝගයන්ට අභියෝග කරමින් සිටින බවට ද එම වාර්තාව තවදුරටත් අනතුරු අඟවයි.