March 11, 2025

නාඋල – ඇලහැර මාර්ගයේ බකමූණ, අලිකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක් යෝධ ඇළට පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රියදුරුට රථය පාලනය කරගත නොහැකිව මාර්ග සංඥා කණුවක ගැටීමෙන් අනතුරුව ඇළට වැටීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාවක් මියගොස් තිබේ.

තුවාල ලැබූ තවත් කාන්තාවක් බකමූණ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට මාරුකර යවා තිබේ.

මෝටර් රථයේ රියදුරු කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර කාන්තාවන් දෙදෙනා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක බව පොලීසිය පවසයි.