May 30, 2024

පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල පුදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් පෙරේදා (28) රාත්‍රියේ ආහාර ගැනීම සදහා ගොස් සිටියදී බීමතින් සිටි පිටස්තරයකු බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව සුසාන භූමිය අසල අතහැර දමා පළාගොස් ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

පිටස්තර පුද්ගලයකු බස් රථයට ගොඩ වී එය පණ ගන්වා ගෙන ධාවනය කරගෙන යද්දී එහි සිටි සෙසු මගින් බියට පත් වී මරලතෝනි දී ඇතැයි ද වාර්තා වේ.

කොළඹ සහ ත්‍රිකුණාමලය මුතූර් අතර ධාවනය වන මෙම පෞද්ගලික මගී බස් රථය මුතූර් බලා ධාවනය වන අතරවාරයේ පෙරේදා රාත්‍රී නwaයට පමණ පහළ වැව හෝටලය අසල ආහාර ගැනීම සඳහා නතර කර ඇත.

රියැදුරා කොන්දොස්තරවරයා ඇතුළු බස් රථයේ සිටි මගීන්ගෙන් කොටසක් තේ පානය කිරීම සඳහා හෝටලයට ගොස් ඇතැයි පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ ඉබ්බන්කටුව ප්‍රදේශයේ පුද්ගලයකු හෝටලය අසලදී රියැදුරා සහ කොන්දොස්තරවරයා සමග ඇතැයි ආරවුලක් ඇති කරගෙන පැවැසේ.

බීමතින් සිටි බව කියන මොහු පිටවී බස් රථයට හෝටලයෙන් ගොඩ වී එහි තිබූ යතුරෙන් බස් රථය පණ ගන්වාගෙන මගින් ද සමග බස් රථය පැහැරගෙන පළාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මේ බව දුටු බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියැදුරා ත්‍රිරෝද රථයක ගොඩවී බලහත්කාරයෙන් රැගෙන යන බස් රථය හඹා යන අවස්ථාවේ ඉබ්බන්කටුව සුසාන භූමිය අසල බස් රථය නතර කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

ඒ වන විටත් බස් රථය කිලෝමීටර් හතරකට වැඩිදුරක් ධාවනය කරගෙන පැමිණ ඇති බව පොලිසිය පැවැසීය.

රියැදුරා සහ කොන්දොස්තරවරයා බස් රථයට ගොඩ වී නැවත හෝටලය අසලට බස් රථය රැගෙන ඇවිත් ආහාර ගැනීම සඳහා ගොස් සිටි මගින් බස් රථයට ගොඩ කරගෙන දඹුල්ල මූලස්ථාන පොලිසියට පැමිණ රියැදුරා සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

දඹුල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති. (ලංකාදීප)

42.31%
17.27%
32.76%