January 10, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමාණයේ නෞකා දෙකකින් (ටග් යාත්‍රා) කොළඹ වරායේ විනෝද සංචාරයක ඊයේ (09) පස්වරුවේ යෙදී තිබේ.

වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකරගේ ඉල්ලීමකට අනුව වරාය අධිකාරිය මෙම කුඩා නෞකා වෙන්කර ඇත.

එම පිරිසට වරාය අධිකාරියේ භෝජනාගාරයෙන් සියලුම ආහාර සහ පාන වර්ග සැපයූ බව ද වාර්තා වේ.

මෙම සංචාරය සඳහා විශේෂ ටග් යාත්‍රාවක් වරාය අධිකාරිය වෙන්කර තිබූ බව දැනගන්නට ඇත.

වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකරගේ පෞද්ගලික ලේකම් සෙනාලි ජයසේකර මෙම චාරිකාව සඳහා අවශ්‍ය ආහාර පාන සහ ද්‍රව්‍ය වරාය අධිකාරියෙන් සපයන ලෙස වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් පසුගිය 08 වැනිදා ලිඛිතව ඉල්ලා තිබේ.

චීස් සැන්ඩ්විච්, බටර් කේක්, ෆිෂ් රෝල්, අයිස් කෝපි, පේපර් කප්, කුඩා වීදුරු, හැඳි සහ ගෑරුප්පු, කුඩා පිඟන්, පුටු ( කවර සහිත), වතුර බෝතල් (පොඩි), ටිෂූ පැකට් 5 ක්, ටෙන්ට් එකක්, පුටු 10ක් සහ මේස සහිත (ඇමැති ආරක්ෂක අංශය සඳහා) ලෙස එම ලැයිස්තුවේ සඳහන්ව ඇත.

ඊට අමතරව සංග්‍රහය පිළිගැන්වීම සඳහා කාර්ය මණ්ඩලයේ 05 දෙනකු දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා තිබේ.

මෙම චාරිකාව සඳහා වරාය අධිකාරිය සතු ‘හංසකාව’ සහ ‘දිය කොවුල්ලා’ යන යාත්‍රා ඉකුත් දෙසැම්බර් 13 වැනිදා යොමුකළ ලිපියක් මගින් වෙන්කරගෙන ඇති බව ද එම ලිපියේ සඳහන් වේ.

නව වසරේ ආරම්භය වෙනුවෙන් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් සංවිධානය කර ඇති හෙයින් ඒ සඳහා සහභාගි වන සියලුදෙනා වරාය පරිශ්‍රයේ චෛත්‍ය පාර ප්‍රධාන පිවිසුම අසලට පැමිණෙන ලෙස වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ආරාධනා පත්‍රයක් ද මන්ත්‍රීවරුන්ට යොමුකර තිබූ බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%