July 4, 2023

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ලිපියක් යොමුකිරිම “සම්පූර්ණයෙන්ම නුසුදුසු” බව කථානායක හින්ද යාපා අබේවර්ධන පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන් සහ නිලන්ත ජයවර්ධන යන නිලධාරීන් පොලිස්පතිධූරයට නව අයකු නම් කිරීමේදී සම්පූර්ණයෙන්ම නොසලකා හරින ලෙස දන්වමින් රංජිත් කාදිනල්වරයා පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා තිබේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසමේ අවසන් වාර්තාවේ පැහැදිලිව දක්වා තිබෙන ආකාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම සිදුවීමේදී හුදෙක් පණිවිඩකරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත්, අදාළ තොරතුරු සලකා බලමින් තම රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත් කාදිනල් හිමියෝ පෙන්වාදෙති.

එසේම ප්‍රහාර තර්ජන සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ලැබී ඇති බවත්, ආසන්න ප්‍රහාර තර්ජනය පිළිබඳ තීරණාත්මක තොරතුරු ලැබීමත් සමඟ, ඔහු කිසිදු අමතර පියවරක් ගෙන නොමැති අතර, එවැනි තොරතුරුවලට අදාළ කිසිදු වාර්තාවක් කැඳවීමට අපොහොසත් වී ඇති බවත්, ඔහුට එරෙහිව පියවර ගැනීමට දැනටමත් නිර්දේශ කර ඇති බවත් උන්වහන්සේ පවසා ඇත.

එපමණක් නොව 2022 ජනවාරි 11 වැනි දින සියලුම සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මෙහෙයවූ නිලධාරියා වන්නේද ඔහු බවත්, මෙම අවස්ථාවට පෙරත් පල්ලියේ සේවකයන් අත්තනෝමතික ලෙස සහ පදනම් විරහිතව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති බවත් කාදිනල්තුමෝ පවසති.

එසේම, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ප්‍රතිඵලයට වඩාත්ම වගකිව යුත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව ඇති බවද කාදිනල්තුමන් වැඩිදුරටත් පවසා ඇත.

අගරදගුරුතුමාගේ ලිපිය පිළිබඳව අදහස් දක්වමින් කථානායකවරයා පවසා ඇත්තේ “එය සම්පූර්ණයෙන්ම නුසුදුසුයි” යනුවෙනි.

කථානායකවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ ජාතික සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසන්නේ, “අපට මෙම ක්‍රියාවලියට එවැනි මැදිහත්වීමක් කිරීමට සිදුවූයේ වෙනත් හේතුවක් නිසා නොව, එය අදාළ ලේඛනයේ පැහැදිලිව සඳහන් කර ඇති බැවින්. කාදිනල්තුමා මේ ගැන කතා කරන්නේ දේශපාලන හෝ වෙනත් අවශ්‍යතා සඳහා නොවන නමුත් ඔවුන්ගෙන් කෙනෙකු පොලිස්පති කළහොත් ආරක්ෂාව ගැන විශාල සැකයක් මතුවෙනවා. ඔවුන් 269ක් මැරෙනකම් බලාගෙන හිටපු පොලිස් නිලධාරීන් දෙන්නෙක්. ඉතින් අපිට හිතන්න පුළුවන්ද මේ අය පොලිස්පති වුණොත් ඒ තනතුරේ රාජකාරිය හරියට කරයි කියලා.”

බලතල තිබෙන පමණින් යම් තනතුරකට ‘කවුරුන් හෝ’ පත්කිරීමට ජනාධිපතිවරයාට පවා හැකියාවක් නොමැති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.

“මෙම සමූලඝාතනය වැලැක්වීමට කටයුතු නොකළ බවට මේ නිලධාරීන්ට චෝදනා එල්ල වෙනවා. මේ සිද්ධිය ගැන කතා කිරීමටත්, වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට බලධාරීන්ට බලපෑම් කිරීමටත් කාදිනල්තුමාට වගකීමක් තිබෙනවා. උන්වහන්සේ කියන්නේ විශේෂ නිලධාරියෙක් පොලිස්පතිවරයා ලෙස පත්කරන්න කියලා නෙවෙයි. තමන් කිසිඳු න්‍යාය පත්‍රයක් මත හෝ බලපෑමක් සිදු නොකරන බව පැහැදිලිව කියලා තියෙනවා. කතෝලික සභාවේ ප්‍රමුඛයෙකු ලෙස උන්වහන්සේට සාධාරණ ලෙස පොලිස්පතිවරයා පත්කරන ලෙස ඉල්ලා සිටීමට අයිතියක් තිබෙනවා. උන්වහන්සේට පමණක් නොව ඕනෑම කෙනෙකුට ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනවා.” යැයි එතුමෝ පවසති.

(The Morning)