June 29, 2023

අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන බතලේගල පර්වතය මුදුනේ සිදුකරන ඉදිකිරීම සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කරන ලද දැනුම්දීම අනුව එම වාර්තාව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ විසින් ජනාධිපති ලේකම්වරයාට ඊයේ (28 වැනිදා) බාරදී ඇත.

බතලේගල පර්වතයට හානි සිදුකරමින් චෛත්‍යයක් ඉදිකරමින් පවතින අතර, මේ නිසා කඩුගන්නාව ආශ්‍රිත භූ දර්ශනයට දැඩිලෙස හානි සිදුවන බව පරිසරවේදීහු පවසති. එමෙන්ම,මෙම ඉදිකිරීම සිදු කෙරෙන්නේ අනවසරයෙන් බවද අනාවරණය වේ.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹදී පෙරේදා (27 වැනිදා) රාත්‍රි පැවැති උත්සවයකට සහභාගිවූ අවස්ථාවේදී බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අදාළ ඉදිකිරීම සඳහා අරණායක ප්‍රාදේශීය සභාව අවසරය ලබාදී තිබෙන බවය. පර්වතයේ සිදු කෙරෙන ඉදිකිරීමට අවසරය ලබාදී ඇත්තේ මීට වසර පහකට පමණ පෙරදී බැවින් එම ඉදිකිරීම අනිවාර්යයෙන්ම සිදුකිරීමේ අවශ්‍යතාව පවතින බවද පෙන්වා දී ඇත..

එහිදී, ජනාධිපතිවරයා බුද්ධශාසන ලේකම්වරයාට පවසා ඇත්තේ මෙම ඉදිකිරීම වහාම නතර කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙන බැවින්, ඒ අනුව කටයුතු කරන ලෙසය.

එමෙන්ම, බතලේගල ඉදිකිරීම සම්බන්ධව වහාම වාර්තාවක් තමාට ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණගෙන් ඊයේ (28 වැනිදා) පෙරවරුවේදී කරන ලද විමසීමකදී කියා සිටියේ අදාළ ඉදිකිරීම සම්බන්ධව තමා නිශ්චිතව නොදන්නා බවය. ඒ සම්බන්ධව තමා දැනගත්තේ පෙරේදා (27 වැනිදා) බැවින් මෙම ඉදිකිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අනුමැතිය ලබාගෙන ඇත්දැයි සොයාබලන බවද, එමෙන්ම, ජනාධිපතිවරයාගේ උපදෙස් මත වාර්තාවක් සකස් කරන බවද ලේකම්වරයා කීවේය.

(අරුණ පුවත්පත)