June 25, 2023

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශ කරන ලද ප්‍රමාණයට වඩා දෙගුණයක ලුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් පරිභෝජනය කරණ බව අනාවරණය වේ.

කෙසේවෙතත් එහිදී WHO නිර්දේශිත මට්ටමට වඩා අඩු පොටෑසියම් ප්‍රමාණයක් සහ අයඩින් ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් පරිභෝජනය කරන ලුණුවල අන්තර්ගතව ඇතැයිද අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

වයස අවුරුදු 25 ත් 65 ත් අතර වැඩිහිටියන් 629 දෙනෙකුගෙන් යුත් පිරිසක් උපයෝගී කරගෙන සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP) විසින් පවත්වන ලද අධ්‍යයනයෙන් පෙන්නුම් කර ඇත්තේ, ලුණු පරිභෝජනය නිර්දේශිත මට්ටමට වඩා දෙගුණයකටත් වඩා වැඩි බවත්, පොටෑසියම් පරිභෝජනය නිර්දේශිත මට්ටමට වඩා අඩු බවත්ය.

2025 වන විට දිනකට ලුණු පරිභෝජනය ග්‍රෑම් අට දක්වා අඩු කිරීමට අදාළව 2019 දී ශ්‍රී ලංකාව ලුණු අඩු කිරීමේ උපාය මාර්ගයක් ආරම්භ කර ඇත.

අධ්‍යනයට සහභාගී වූවන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 46 ක් වූ අතර, ඉන් සියයට 54.5ක් කාන්තාවන් ය.

ඔවුහු බහුතරයක් සිංහල (සියයට 78.1), බෞද්ධ (සියයට 73.8), ග්‍රාමීය (සියයට 79.7) සහ 11 ශ්‍රේණියෙන් ඉහළ (සියයට 56.6) උගත් අය වූහ.

වයස අවුරුදු 25-64 අතර වැඩිහිටියන් සඳහා මනින ලද ලුණු ප්‍රමාණය පිළිවෙලින් දිනකට ග්‍රෑම් 11.4 සහ 13.3 ක් වූ අතර, එය අනෙකුත් රටවල පෙර අධ්‍යයනයන්හි වාර්තා වූ අගයට වඩා වැඩි ය.

අනෙකුත් අධ්‍යයනයන්හි පෙන්වා ඇති පරිදි පිරිමින් අතර ලුණු පරිභෝජනය කාන්තාවන්ට වඩා සැළකිවයුතු ලෙස වැඩිය. (දිනකට ග්‍රෑම් 12.5 සහ ග්‍රෑම් 10.4)

අධ්‍යයනයට අනුව නාගරික ලුණු පරිභෝජනය දිනකට ග්‍රෑම් 11.6 ක් වූ අතර, ග්‍රාමීයන් ලුණු පරිභෝජනය ග්‍රෑම් 11.1 ක් වේ.

ජනවාර්ගිකත්වය අනුව, දෙමළ ජනතාව අතර ලුණු පරිභෝජනයේ ඉහළම අගය වන්නේ දිනකට ග්‍රෑම් 11.5 ක් වේ.

ශ්‍රී ලංකාව 2012 දී දිනකට සාමාන්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 8.8 ක් වාර්තා කළ අතර, එය 2016 දී ග්‍රෑම් 12.4 දක්වා ඉහළ ගොස් ඇත.

ගෝලීය වශයෙන් මරණවලට ප්‍රධානතම හේතුව වන හෘද වාහිනී රෝග වැළැක්වීම සඳහා WHO විසින් දිනකට එක් පුද්ගලයෙකුට ග්‍රෑම් 5 ට අඩු (ආසන්න වශයෙන් සෝඩියම් ග්‍රෑම් 2 ක්) ලුණු පරිභෝජනය නිර්දේශ කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කර ඇති ගෝලීය ඉලක්කය වන්නේ දිනකට ලුණු පරිභෝජනය සියයට 30 කින් ග්‍රෑම් 5 දක්වා අඩු කිරීම වන අතර, එය බෝ නොවන රෝග අඩු කිරීමේ ගෝලීය ඉලක්ක කොටසකි.

හෘද රෝග, පිළිකා, නිදන්ගත ශ්වසන රෝග සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝග (NCDs) ලොව පුරා මරණ සඳහා ප්‍රධානතම හේතුව වන අතර නැගී එන ගෝලීය සෞඛ්‍යට තර්ජනයක් ඇති කර තිබේ.

බොහෝ ඉහළ ආදායම් ලබන රටවල, ආහාරවල ලුණු වලින් සියයට 75ක් පමණ ඇත්තේ සැකසූ ආහාර සහ නිවසින් පිටත සකස් කරන ලද ආහාර වලින් බව WHO සඳහන් කරයි.

බොහෝ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල, වැඩි සෝඩියම් පරිභෝජනයක් ඇත්තේ නිවසේ ආහාර පිසීමේදී එකතු කරන ලුණුවලින් හෝ මාළු සෝස් සහ සෝයා සෝස් වැනි කුළුබඩු හරහා ය.