June 23, 2023

ඇතැම් ජනමාධ්‍ය ආයතනවල උසිගැන්වීම මත තම නිවසට ගිනි තැබීමට පසුදා තමාට ඉල්ලා අස්වන ලෙස ඇතැම් තානාපතිවරුන්ගෙන් ඉල්ලීම් ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

කථානායකවරයාට ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගන්නා ලෙස ඉල්ලීමක් ද තිබුණු නමුත් තමන් ඉල්ලා අස් නොවවන බවට ස්ථිර මතයක සිටි බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

“උද්ඝෝෂකයන් ජනාධිපති නිල නිවසට කඩා වැදුණා. ජනාධිපතිවරයාට හොර රහසේ වරායට පරිශ්‍රයට ගොස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවකට නගිමින් ඔවුන්ගේ සහාය පැතීමට සිදු වුණා. එදා සවස පක්ෂ නායකයෝ රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි කියා ප්‍රකාශ කළා. ඒ වගේම මම වැඩ බලන ජනාධිපතිවරයා විය යුතුයි කියන අදහසත් ඒ සමඟම ආවා.

එදා විපක්ෂය කිව්වා මමත් ඉල්ලා අස්විය යුතුයි කියලා. ව්‍යවස්ථානුකුලව අග්‍රමාත්‍ය ධූරය සඳහා අයෙකු සොයාගන්නා ලෙසත්, එවිට මට ඉල්ලා අස්විය හැකි බවටත් මම විපක්ෂයේ පාර්ශ්වයන්ට පැවසුවා. ඒ අතරතුර, කිසියම් මාධ්‍යයක ඉල්ලීම් හෝ බලපෑම් පරිදි උද්ඝෝෂකයින් පිරිසක් පැමිණ මගේ නිවසට ගිනි තැබුවා. ඔවුන් හිතුවේ මම ධූරයෙන් ඉවත් වෙයි කියලා. මේ අතර පසු දින ඇතැම් තානාපතිවරුත් මට ඉල්ලා අස්වෙන ලෙස දන්වා සිටියා.

නමුත් ඇතැමුන් කථානායකවරයාට වැඩබලන ජනාධිපති ධූරය භාරගන්නා ලෙස යෝජනා කළා. කෙසේ නමුත් එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප වුණා. නමුත් මම මගේ ස්ථාවරයේ සිටිමින් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළා. ඒ වන විට ජනාධිපතිවරයා රටින් පිටමං කර, පසුව මාලදිවයිනට රැගෙන ගොස් තිබුණා.

මම කැබිනට් රැස්වීමක් පැවැත්තුවා. අනතුරුව උද්ඝෝෂකයෝ තීරණය කර තිබුණා අගමැති කාර්යාලය අත්පත්කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවත් අත්පත්කරගත යුතුයි කියලා. ඊට දවස් දෙකකට පසුව පැය පහක් හයක් පමණ අගමැති කාර්යාලයෙන් පිටත ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

ඔවුන්ට වෙඩි තැබීමට නියෝග කිරීමට මට අවශ්‍ය වුණේ නැහැ. ඉතින් අන්තිමට ඔවුන් අගමැති කාර්යාලයටත් කඩා වැදුණා. පසුව, පා ගමනින් පාර්ලිමේන්තුවට පැමිණෙමින්, පස්වරුව වන විට තවත් පාර්ලිමේන්තු සැසිවාර නොපැවැත්විය යුතු බවත් ඔවුන් දන්වා සිටියා. විපක්ෂ නායකවරයා ද එම කටයුතුවලට සහාය දැක්වූවා. පාර්ලිමේන්තුව මෙලෙස පවත්වාගෙන යා නොහැකි අතර එය ආරක්ෂා කරගත යුතු බව මම හමුදාපතිවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව ඔවුන් සතුව සිටී ශ්‍රී ලංකාවේ හොඳම හමුදා බලඇණිය නිරායුධව එහි ස්ථානගත කළ අතර, ඔවුන් එහිදී සාර්ථකව උද්ඝෝෂකයින් විසුරුවා හරිනු ලැබුවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීමේදී සෙබළුන් 24 දෙනෙක් තුවාල ලැබුවා.

එම අවස්ථාව වන විට මම තීරණය කළා මම ජනාධිපති ධූරයේ වැඩ භාරගතයුතු කියලා. ජනාධිපතිතුමා ඉල්ලා අස්වීම එවා තිබුණේ මට වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න කියන ඉල්ලීම කරමින්, නමුත් ඒ වන විට ජනාධිපති කාර්යාලය අත්පත් කරගෙන සිටි පිරිස මම වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙනවාට කැමති වුණේ නැහැ.

වැඩබලන ජනාධිපති ලෙස ධූරය භාරගැනීම සඳහා මට පාර්ලිමේන්තුව භාවිතා කිරීමට අවශ්‍ය වුණේ නැහැ. මම අගවිනිසුරුවරයාගේ නිවස භාවිතා කළේද නැහැ. මම උදේ පාන්දරම මගේ නිවස අසළ පිහිටි පවුලේ පන්සලට ගියා. අගවිනිසුරුතුමා එතැනට පැමිණියා. පන්සලේ හාමුදුරුවෝ එහි ආරක්ෂාව ඉවත් කිරීමට උපදෙස් දී තිබුණා, පන්සල තුළ මගේ දිවුරුම් දීම ඡායාරූපගත කළා.”