June 22, 2023

මට අමතක කළ නොහැකි දෑසේ හිමිකාරිය වන දිව්‍යා ජීවත් වෙන්නේ අගනුවර සිට කිලෝමීටර 300ක් පමණ ඈත අති දුෂ්කර ගමක් වන මදුරංකේනිකුලම්හි ය. සී.ආර් පොතක් අතැතිව පාර දිගේ කඩිමුඩියේ ඉදිරියට ඇදෙමින් සිටි දිව්‍යා නවත්වා ඇගේ නම ඇසුවෙමි. ඇගේ දෑස්වල අල්ප මාත්‍රයක් හෝ බියක් නොතැවරුණු නමුත් ඇගේ දුප්පත්කම සඟවන්නට පැළද සිටි ඇඳුමට නොහැකි විය. අනතුරුව ඈ පාසලේ ඉගෙන ගන්නා ශ්‍රේණිය සහ ගෙදර ඉන්නේ කවුද යන පැනය ඇසුවෙමි. සත්වන වසරේ ඉගෙන ගන්නා බව කී ඈ මිත්තනිය සහ අයියා පමණක් ගෙදර සිටිනා බව කීවා ය. “එතකොට කෝ අම්මා?” මම ඇසීමි. “අම්මා රට” ඇගේ පිළිතුර ප්‍රශ්ණයට වඩා ඉක්මන් විය. “මොන රටේ ද? ” ඇසූ විට “දන්නෙ නෑ” කියා නැවතත් දිව්‍යාගේ පිළිතුර කෙටි වූයේ මා මග හරින්නට දැයි සිතිණි. “එතකොට තාත්තා කෝ” කියා අසන විටද නොසැලකිල්ලෙන් මෙන් “දන්නෙ නෑ” කියා ඈ පිළිතුරු දුන්නා ය. දිව්‍යා කවදාවත් ඇගේ පියා දැක නැත. දිව්‍යා පමණක් නොව ඈ ජීවත් වන ගමේ දරුවෝ ගණනාවක්ගේම උප්පැන්න සහතිකයේ පියාගේ නම නැති අතර තම මව පමණක් හඳුනති. මදුරන්කේනිකුලම ගම පිහිටා තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේය. මෙහි ජීවත් වන ජනතාව පොදුවේ හඳුන්වනු ලබන්නේ මුහුඳු වැදි ප්‍රජාව යනුවෙනි. මොවුන්ගේ විශේෂත්වය වන්නේ පැරණි වැදි ප්‍රජාවේ ව්‍යවහාර කළ වැදි භාෂාව වෙනුවට දමිළ භාෂාව කතා කරන වැදි ජන කොටසක් වීමයි. පැණි එකතු කිරීම, මාලු ඇල්ලීම, ගොවිතැන් කටයුතු සහ කුලී වැඩ ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපායන් ය. තාක්ෂණික කුසලතා සහ උසස් අධ්‍යාපන සුදුසුකම් වැඩි වැඩියෙන් අගය කරන සහ විශාල නගරවල හොඳ වැටුප් සහිත රැකියා බහුලව දක්නට ලැබෙන ලෝකයක, මදුරංකේනිකුලමේ හැදී වැඩෙන දරුවන්ගේ අනාගතය සහ ජීවිතයේ ඇති අවස්ථා මොනවාද? මේ පිළිබඳව සොයා බලන්න මම මෙම පුරාණ වැදි ප්‍රජාව සොයා ගියෙමි.

සතීෂ්කරන් යාන්තම් වයස අවුරුදු 18 පිරෙන කඩවසම් ඉළන්දාරියෙකි. ගමේ පාසල වන මදුරංකේනිකුලම් රජයේ දෙමළ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ඔහු විෂයන් දෙකක් පමණක් සමත් වී ඇත. “අපේ ඉස්කෝලෙ සමහර විෂයන්වලට ගුරුවරු හිටියෙ නෑ. ගණිතයට හිටියෙ නෑ. ඉංග්‍රීසිවලට හිටියෙ නෑ.” කියා ඔහු මට පැවසී ය. තමාට වැඩිදුර අධ්‍යාපනය හෝ වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට අවස්ථාවක් නොලැබීම නිසා තම පියාගේ අඩිපාරේ යමින් ගොවියකු වීමට සිදුවූ බවට සතිෂ්කරන් මැසිවිලි නගයි. සතීෂ්කරන්ගේ ප්‍රකාශය ගැන මා සොයා බැලූ අතර, ඔහු ජීවත් වන ප්‍රදේශය ආසන්නයේ කිසිදු වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් නොමැත. වැඩිදුර අධ්‍යාපනයට කැමැත්තක් දක්වන්නකු පවා සැතපුම් 50ක දුරක් ගෙවා වාලච්චේනෙ වෙත පැමිණිය යුතු ය. ඒ නිසා අධ්‍යාපනයෙන් දුරස් වූ ඔවුහු නුපුහුණු ශ්‍රමිකයෝ ලෙස බරපතල ශ්‍රම සූරා කෑමටකට ද ලක් වීමේ අවදානම දැන දැන කුලී වැඩට යොමුවෙති.

පාසලේ පවතින දැඩි ගුරු හිඟයට ප්‍රධාන හේතුව ප්‍රවාහන දුෂ්කරතාවයි. පාසලට පැමිණෙන ගුරුවරු කිලෝමීටර 70කට වැඩි ඈත ප්‍රදේශවලින් පැමිණෙන අතර මදුරංකේනිකුලම් අතුරු මාර්ගය යනු නිතර අනතුරු සිදුවන, යතුරු පැදි අබලන් වන, වල් අලි තර්ජන බහුලව සිදුවන මාර්ගයකි. එම සියලු බාධක ගෙවා උදෑසන පාසලට පැමිණ පංති කාමරයට ඇතුළුවන ගුරුවරු කිසිදු උද්යෝගයක් නොමැතිව ඉතා තෙහෙට්ටුවෙන් ඉගෙන්වීම් කටයුතු කරයි. බොහෝදෙනෙක් වෙනත් තැන්වලට ස්ථාන මාරු ලබා ගැනීමට තැත් කරති. ඊට අමතරව ඇතැම් ගුරුවරු මෙම පාසලට තාවකාලික අනුයුක්ත කිරීම් හෝ දඬුවම් වශයෙන් ස්ථාන මාරු ලැබූ අය වෙති.

 

(පාසල් ගුරු මුත්තුවේල් රාසන්)

“පාසලේ දැඩි ගුරු හිඟයක් තියෙනවා” මාර්කේනිකුලම් පාසලේ ද්විතීක අංශයේ ගුරුවරයෙක් වන මුත්තුවේල් රාසන් පැවසීය. “මේ අවුරුද්දේ ප්‍රාථමික අංශයට ගුරුවරු තිදෙනෙක් ඉන්නවා. මීට කළින් කිසිකෙනෙක් හිටියෙ නෑ. එතකොට ළමුන් උදේ පාසලට ඇවිත් පාසල් වේලාව අවසන් වෙනකම් නිකරුණේ පංති කාමරය තුළ කාලය ගෙවලා ගෙදර යන තත්ත්වයක් තිබුණා. මේ විදිහට මූළික අංශයේ ගැටලු නිසා මූලික අධ්‍යාපනයේ දී ලබා ගත යුතු ප්‍රගතිය නොලබා ද්විතීක අංශයට ළමුන් පැමිණෙනවා.. ද්විතීක අංශයේ පංති කාමරය තුළ අකුරු පවා අඳුරන්නැති ළමුන් ඉන්නවා. උගන්වද්දි අපිට තියෙන ලොකුම අභියෝගය ඒක” ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ගේ හිඟය මෙම සියලු ගැටලුවලට මුල බව රාසන්ට හැඟෙයි. මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් කරුණු විමසීමක් කළත් ඔහු අදහස් දැක්වීමට කැමත්තක් දැක්වූයේ නැත.

මදුරංකේනිකුලම් අයත් කුංජාන්කුලම් ග්‍රාමයේ වසර හතක් පුරා සේවය කරන ග්‍රාමසේවක දයාලන්ට අනුව ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීමට ප්‍රධාන හේතුව දෙමාපියන් ය. “දෙමවුපියෝ හිතන්නේ ළමයි වැඩිය ඉගෙන ගත්තා කියලා අපි කරන රස්සාවම කරනවා විනා වෙන මොනවා කරන්න ද, ඒ නිසා දැන් ම අපි කරන රස්සාවම කරපුවාවේ කියලා.” දයාලන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ දෙමාපියන්ගේ පසුගාමී අදහස් ළමුන්ගේ අධ්‍යාපනය කඩා වැටීමට බලපාන බවත්, දරුවන් තමන්ට බරක් යැයි දෙමාපියෝ සිතන නිසාත් හැකි ඉක්මනින් දරුවන් විවාහ කරදීමට කටයුතු කරන බවත් ය.

මේ දරුවෝ පාසල් අධ්‍යාපන කටයුතුවල කෙතරම් උනන්දුවෙන් යෙදී සිටියත් දිව්‍යා වැනි තරුණියන්ගේ ඉරණම අ.පො.ස. සා/පෙළින් පසු තරුණයකු විවාහ කරදීමත් සමඟ අවසන් වන බවක් පෙනේ. දෙමාපියන් විසින් සිදුකර දෙන කරන මෙම විවාහයන් වයස අවුරුදු 18 සම්පූර්ණ වන තුරුම නීතිය යටතේ ලියාපදිංචි වන්නේ ද නැත. ලිංගික අධ්‍යාපනය හෝ පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව කිසිදු දැනුමක් නොමැතිව අඩු වයසින් විවාහ වන මෙම තරුණියන් අතර බොහෝ බාලවයස්කාර ගැබ්ගැනීම් ඇතිවන බවත් ඔහු මට පැවසී ය.

 

(අධ්‍යාපන නිළධාරී කේ. ජයවදනන්)

මදුරන්කේනිකුලම් ගම්වාසීන්ගේ උන්නතිය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව විවිධ විෂයන් භාර නිලධාරීන් 15ක් පමණ සිටියත් තවමත් ගමේ ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වී ඇතැයි කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන නිළධාරී කේ. ජයවදනන් කියා සිටී. සිසුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමාපියන්ගේ කිසිදු දායකත්ව නැති බව ද ඔහු කීවේ ය. “මදුරන්කේනිකුලම ග්‍රාමයේ දෙමවුපියන් සිය දරුවන් ඔවුන් සිටින තැනින් එළියට ගෙනඒමට ඉඩ දෙන්නේ නැහැ” ඔහු කියා සිටී.

දෙදරු පියකු වන හතළිස් හැවිරිදි සෙල්ලයියා අන්නකුමාර්ගේ පරිශ්‍රමය හේතුවෙන් දෙමවුපියන්ට වරද පැටවීම පිළිබඳව එකඟ විය නොහැකි ය. ඔහු තම දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය ලබාදීමට කැමති අතර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන නොසතුටින් සිටී. “ගුරුවරු දුර පළාත්වල ඉඳන් ඉස්කෝලේ එනවා. වැස්ස දවස්වලට ගමට එන්න බෑ. වතුර පිරිලා, ගංවතුර එනවා. ගමේ ළමයින්ට ඉස්කෝලේ යන්නත් බෑ. වැව පිටාර ගලනවා.”

වෘත්තීය අධ්‍යාපනය සඳහා පවා තම දරුවන් ගමෙන් පිටතට යැවීමට දෙමාපියන් මැලිකමක් දක්වන බව ජයවදනන් පවසන අතර, සෙල්ලයියා අන්නකුමාර් පෙන්වා දෙන්නේ මේ වසරේ අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තම පුතුට ආසන්න ප්‍රදේශයක උසස් පෙළ ඉගෙනීමට අවස්ථාවක් නොලැබෙන බවත්, ඔහුව වැඩිදුර අධ්‍යාපනය සඳහා යැවීමට තම පවුලට වත්කමක් නැති නිසා අකැමැත්තෙන් වුව ද තම දරුවන් කුලී වැඩට යැවීමට සිදුව ඇති බවත්ය.

ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ තුළ බොහෝ රැකියාවන් සඳහා උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබා තිබීම මූලික සුදුසුකමක් ලෙස සැළකෙයි. එහෙත් මදුරංකේනිකුලම්හි සෑම දරුවකුම සිය පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළින් අවසන් කළ යුතු වෙයි. උසස් අධ්‍යාපනය හැදෑරීමට ආශාවක් ඇති මදුරංකේනිකුලම් සිසුන්ට, විකල්ප දෙකක් තිබේ. එක්කෝ දරුවා කිලෝමීටර් 13ක් පමණ වන ඉතා දුෂ්කර කැලෑ මාර්ගයකින් ඇවිද ගොස් තවත් කිලෝමීටර් 20ක් පමණ ප්‍රධාන මාර්ගයක ගමන් කර වැඩි පහසුකම් සහිත වාකරේ නගරයට ළඟා විය යුතු ය. එසේ නොමැති නම්, ඔවුන්ට කිලෝමීටර් 15 ක් පමණ ගමන් කර පහසුකම් සීමිත පැංචේන පාසලට යා හැකි ය.

 

(සින්නතම්බි පංචාතිරම්)

මංකේනිකුලම්හි උසස් පෙළ අධ්‍යාපනය ලබන එකම ශිෂ්‍යාව සින්නතම්බි පංචාතිරම්ගේ දියණියයි. ඇය ගමේ පාසලේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා ය. එම පාසලේ සාමාන්‍ය පෙළ සමත් නොවූ ඇය මාංකේනි පාසලට මාරු කිරීමට ඇයගේ පියා කටයුතු කළේ ය. එහිදි සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු ඇය උසස් පෙළ සඳහා පාංචේනෙ පාසලට ඇතුළත් කරනු ලැබුවා ය. ඒ ඇගේ දෙමවුපියන්ගේ උනන්දුව නිසා ය. දෛනිකව පංචාතිරම්ගේ දියණිය වල් අලි ප්‍රහාරයෙන් මුදවා මහපාරට රැගෙන යෑමේ සහ නැවත රැගෙන ඒමේ වගකීම පියා විසින්ම දරයි. “පාන්දර 5ට ගෙදරින් යන්නේ. එතකොට තමයි 6.30 බස් එකට පාරට යන්න පුළුවන්. අපි ගමට සී.ටී.බි. බස් එකක් ඉල්ලුවා. එයාලා කියනවා මේ පාරේ බස් දුවන්න බැහැලු දූවිලි නිසා” ඔහු පැවසීය. ප්‍රවාහන දුෂ්කරතාව මාංකේනිකුලම් ග්‍රාමවාසී ජනයාගේ ඉරණම බවට පත්වී ඇත. “දුව ඉස්කෝලෙ යවන්න විතරක් එක දවසකට රුපියල් 400ක් ඕන. මාසෙට 10,000ක් විතර වියදම් වෙනවා” පංචාතිරම් මැසිවිලි නැගී ය.

 

(ආදිවාසි ප්‍රජාවේ නායක වේලායුදම්)

මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළබඩ ආදිවාසි ප්‍රජාවේ නායකයා වන වේලායුදම්ද මදුරංකේනිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ප්‍රදේශයේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව ඔහුට ද ඇත්තේ කනස්සල්ලකි. අධ්‍යාපන කාර්යාලයේ ලේකම් මුණගැසී සියලු විෂයන්ට ගුරුවරු ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් තවමත් එයට විසඳුම් ලැබී නැත. තාවකාලික ගුරු අනුයුක්තිය වෙනුවට ස්ථිර පත්වීම් මදුරංකේනිකුලම් පාසලට ලබාදීම සාධනීය විසඳුමක් යැයි වේලායුදම් අවධාරණය කළේ ය.

පාසල් කටයුතු සහ අධ්‍යාපන තත්ත්ව සංවර්ධන සඳහා අදාළ අතිරේක ලේකම්වරුන් දෙදෙනාට කතා කිරීමට මම අධ්‍යාපන අමාත්‍යංශයට කතා කළ අතර, එම නිලධාරීන් දෙදෙනාම විශ්‍රාම ගොස් ඇති බවත් එම තනතුරුවලට තවම කිසිවෙක් පත් කර නොමැති නිසා නිල ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවත් මට දන්වන ලදී. කෙසේ වෙතත්, ග්‍රාමීය ප්‍රදේශවල පාසල්වල ගුරු හිඟයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් පිළිගෙන ඇති බවත්, මෙම ගැටලුව අවම කිරීම සඳහා ගුරු විද්‍යාලවලින් නිදහස් කිරීමට නියමිත කණ්ඩායම් දෙකක් ග්‍රාමීය ප්‍රදේශවලට පමණක් යොදවන බවත් ගුරු ආයතන ශාඛාවේ නිලධාරියෙක් පැවසී ය. එම නිලධාරියා යෝජනා කළේ මදුරංකේනිකුලම් පාසලේ පුරප්පාඩු පිරවීමට ගුරුවරුන් සඳහා විධිමත් ඉල්ලීමක් කළ හැකි බවයි.

කල්කුඩා කලාප අධ්‍යාපන කාර්යාලයේ කේ.ජයවදනන් පවසන්නේ පාසලට නව විදුහල්පතිවරයකු පත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, ගුරු නිවාස එම ස්ථානයේ ම ඇති බැවින්, මදුරංකේනිකුලම් හි ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි වැනි අනිවාර්ය විෂයයන් කිහිපයක හිඩැස් පිරවීම සඳහා දෛනිකව ගමන් කිරීමට වඩා නව ගුරුවරුන්ට එම ගුරු නිවාසවල නතරවීමට උනන්දු කිරීමට තමන් කැමති බවත් ය.

මා ගමෙන් පිටව කොළඹට එන විට පසුකරමින් පැමිණි මදුරංකේනිකුලම් ගම්මානය අවට වෙල්යායවල් දෙස බැලීමි. ඒවා අවට නගරබද ප්‍රදේශවල වෙසෙන ධනවත් ව්‍යාපාරිකයන්ට අයත් ඒවා ය. මදුරංකේනිකුලම් තරුණයන් නතර වීමට ඉඩ ඇත්තේ ද මේ යායවල්වල කම්කරුවන් ලෙස නොවේදැයි මට මතක් විය. 18 හැවිරිදි සතීස්කරන්ගේ වචන මා තුළ නැවත රැව්දුන්නේය. “අපි වෙනත් රැකියාවකට යොමු වෙන්න කැමතියි, නමුත් අපට වෙන රැකියාවක් ලැබෙන්නේ නැහැ, පාසලේ මගේ පන්තියේ දහදෙනෙක් හිටියා ඔවුන් දහදෙනාම දැන් කම්කරුවන් ලෙස වැඩ කරනවා”.

ආපසු නගරයේ දී, මම දුටු සහ ඇසූ දේ ගැන ආවර්ජනය කළෙමි. මට හමු වූ තරුණ තරුණියන්ගේ අනාගතය කුමක් වේවි ද? පවතින අධ්‍යාපනික සංකීර්ණතා සහ ගැටලු හේතුවෙන් ඔවුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයක් දිනා ගැනීම බොහෝ විට හුදු සිහිනයක් පමණයි. රාජ්‍ය සේවයට ඇතුළත් වීම හෝ සාධාරණ රැකියා අවස්ථාවක් ලබා ගැනීම ද දුෂ්කරය. කුඩා ආදිවාසී ප්‍රජාවක සාමාජිකයෙක් වශයෙන් ජීවත්වීම නිසා සුදුසු අධ්‍යාපනික අවස්ථාව අහිමි විය යුත්තේ ඇයි?

ප්‍රශ්නවලට හේතු කුමක් වුවත් (ගුරු හිඟය, ගමේ යටිතල පහසුකම් සහ දෙමාපියන්ගේ ආකල්ප), මෙම සාධක සියල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැරණිතම ප්‍රජාවක තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ සිහින කඩාකප්පල් වී ඇත.
මේ අතරම ග්‍රාමය දියුණු කිරීමට ගනු ලබන උත්සාහයන් අතලොස්සක් ගැන ද අසන්නට ලැබිණි (දෙමාපියන් සඳහා අභිප්‍රේරණ වැඩසටහන්, ග්‍රාමීය පාසල්වලට ගුරුවරු ලබාදීම, පාසලට නව විදුහල්පතිවරයකු යනාදිය) නමුත් ඔවුන්ගේ ඉරණම සම්බන්ධයෙන් සාමූහික ක්‍රියාමාර්ගයක් නොගතහොත්, මෙම ප්‍රජාව නිමක් නැති දරිද්‍රතාවයෙන් වටවුණු විෂම චක්‍රයක තවත් කාලයක් සැරිසරනු ඇත.

 

  • සකී‍ෆ් සාම්

සහකාර කථිකාචාර්ය
ජන සන්නිවේදන අධ්‍යයන අංශය – කැලණිය විශ්වවිද්‍යාලය