June 22, 2023

පවතින ස්ථාවර තත්ත්වය රට යහපත් අතට හැරෙමින් පවතින බවට ඉඟියක් ලෙස සැළකේ. නීතිය හා සාමය ක්‍රියාත්මක වීම, උද්ධමනය පහත වැටීම සහ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් නොමැතිවීම යන කරුණු හේතුවෙන්, වසරකට පෙර පැවැති තත්වයට සාපේක්ෂව විශාල වෙනසක් පෙන්නුම් කරයි. එහෙත් ඩෙංගු වැනි රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබන පුද්ගලයන්ට හෝ ක්‍රීඩාවල නියුතු තැනැත්තන් වෙනුවෙන් අවශ්‍ය ‘ජීවනී’ වැනි අත්‍යවශ්‍ය මූළික ඖෂධ වර්ගවලද දැඩි හිඟයක් පවතී. ජීවනී හිඟයට හේතු වී ඇත්තේ එය දේශීයව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී මතුව ඇති ගැටලු බව පැවසේ. වඩා මිල අධික ආදේශක සාමාන්‍ය මිල මෙන් දෙගුණයකටත් වඩා වැඩි මිලකට ලබාගත යුතුව ඇත.

පවතින ස්ථාවරත්වයට රටේ ආර්ථිකය ප්‍රකෘතිමත්වීම සඳහා පදනම සපයාදිය හැකිය. එහෙත් එහිදී, දූෂණය අවම කිරීම, වගවීම ප්‍රවර්ධනය කිරීම සහ ස්ථාවර ප්‍රතිපත්ති සමඟ ආයෝජකයන්ට සහතිකයක් ලබාදීම අපේක්ෂා කෙරේ. රට තුළ විදේශීය ආයෝජන අඩුවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ, ඔවුන්ගේ ආයෝජනවල ශක්‍යතාව කෙරෙහි බලපාන ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳ ආයෝජකයන් තුළ පවතින බියයි. ඉහත සඳහන් කළ සාධක නොපැවතුණද ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවට කරන ප්‍රකාශයන් යථාර්ථයට දෙයාකාරයකින් පටහැණිය. ඉන් පළමුවැන්න වන්නේ 2023 පළමු කාර්තුවේ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සෘණ සියයට 11.5ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව පෙන්නුම් කරන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති ආර්ථික දත්ත යි. ආර්ථිකයේ මෙම හැකිළීම පසුගිය වසරේ අදාළ කාලයේදී වාර්තාවූ සියයට 9.2කට වඩා ඉහළ අගයකි.

ආර්ථික ප්‍රගතිය පිළිබඳ චිත්‍රය උඩුයටිකුරු කළ දෙවැනි සංඛ්‍යාලේඛනය වන්නේ, ආර්ථිකය යළිත් වරක් ශක්තිමත් වන බවට සාක්ෂියක් ලෙස පෙන්වාදුන් රුපියල, සති කිහිපයක් ඇතුළත සැළකිවයුතු අගයකින් නැවත අවප්‍රමාණ වීමයි. විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ නැංවීම සහ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම ඇතුළුව, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් දක්ෂ ලෙස ආර්ථිකය හසුරුවන බවට විවිධ හේතු ඉදිරිපත් කර ඇත. දැඩි ආනයන පාලනයන් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන්වන තෙක් විදේශීය ණය ආපසු ගෙවීමට අඛණ්ඩව අපොහොසත්වීම යන සන්දර්භය තුළ, පැහැදිලිවම රුපියල ශක්තිමත් වීම සිදුවෙමින් පැවතීම ඉතා සුවිශේෂී කරුණක් වන්නේ නැත.

මනුෂ්‍ය දුක

ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ ආර්ථික විද්‍යාත්මක සහ අභ්‍යන්තර දැනුමක් පවතින අයට අඩු මිලට ඩොලර් මිලදී ගෙන දැන් ඒවා ඉහළ මිලකට විකුණා විශාල ලාභයක් ලබාගත හැකිය. එහෙත් සමාජයේ පහළම ස්ථරවල සිටින අයට තමන් සතු සුළු දෙය විකුණා හෝ ණය නොවී ගෞරවාන්විතව ජීවත් වීමට අපහසුය. දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති එම පවුල් ප්‍රතිශතය, දැන් වසර දෙකකට පෙර පැවැති සියයට 13 අගයේ සිට ඉහළට ගමන් කර ඇති අතර, ඉදිරි වසර කිහිපය තුළ එම ප්‍රතිශතය සියයට 25කට වඩා ඉහළ මට්ටමකට ගමන් කරනු ඇතැයි පුරෝකථනය කර ඇත. කතන්දර දෙකක් විසින් මිනිස් දුක් වේදනා සංයුක්ත වචන බවට පමණක් පත් කර ඇති ආකාරය පැහැදිලි කළ හැකිය. පළමුවැන්න මා සේවය කරන කාර්යාලයට අනුයුක්ත කර ඇති ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියා සම්බන්ධයෙනි. ඔහු අර්ධ ආඝාත තත්වයකට ගොදුරු වූ අතර සති තුනක සිට රැකියාවට පැමිණීමට ඔහුට නොහැකි විය. කොළඹට කිලෝමීටර් 27ක් දුරින් පිහිටි ඔහුගේ නිවසට මා ඔහුව බැලීමට යන විට, ඔහු අසුන්ගෙන සිටියේ හඬක් ඇති නමුත් රූප නොපෙනෙන රූපවාහිනී යන්ත්‍රයක් ඉදිරිපිටය.

රෝගියා විස්තර කළේ, ඔහු අසනීප වීමට පෙර මාසයකට පෙර රූපවාහිනි යන්ත්‍රයෙන් දැකගත හැකිවූ බවය. වියදම රුපියල් 2000 ක් පමණ වනු ඇතැයි අපේක්ෂාවෙන් ඔහු එය අලුත්වැඩියා කිරීම සඳහා රැගෙන ගොස් ඇතත්, ඇත්ත වශයෙන්ම ඊට වැයවන මුදල රුපියල් 7000 කි. එබැවින් ඔහු එය අලුත්වැඩියා නොකර ආපසු ගෙදර ගෙනැවිත් තිබේ. රූපවාහිනී යන්ත්‍රය අසල මේසය මත රතු නිවේදනයක් සහිත නොගෙවූ විදුලි බිලක් විය. ඔහු සේවයට වාර්තා නොකරන නිසා සේවය කරන පැය ගණන අනුව ගෙවන වැටුප ඔහුට නොලැබෙනු ඇත. ප්‍රමාණවත් ඇණවුම් ඇති විට පමණක් ගමේ මිනිසුන්ට වැඩ ලබාදෙන අසල ප්ලාස්ටික් කම්හලක සේවය කරන ඔහුගේ බිරිඳට දිනකට රුපියල් 800 ක වැටුපක් ලැබේ. එහෙත් පසුගිය සති තුනක කාලය තුළ ඇයට ස්වාමිපුරුෂයා රැකබලා ගතයුතු වූ බැවින් ඇයට රැකියාවට යෑමට නොහැකි විය. ඔවුන්ගේ දරුවන් දෙදෙනා පාසල් අධ්‍යාපනය ලබන අතර, මා එහි සිටින විට දියණිය මිතුරන් දෙදෙනකු සමඟ උපකාරක පන්තියකට සහභාගී වී සිට පැමිණ, ඔවුන්ගේ ඊළඟ උපකාරක පන්තියට යෑමට පෙර දිවා ආහාරය බලාපොරොත්තුවෙන් සිටියාය. කුඩා කල සිටම ඇය බලාපොරොත්තු වූයේ තම මාපියන් විසින් අවශ්‍ය ආහාර මේසය මත තබා තිබෙනු ඇතැයි කියාය.

මගේ දෙවන කතාව, තම බිරිඳගේ රෝගී තත්වයක් වෙනුවන් ඖෂධ වෙනුවෙන් මුදල් ඉල්ලා මගේ නිවසට පැමිණි පෞද්ගලික ආයතනයක් සේවය කරන පිරිසිදුකරන්නා ගැනය. ඔහුගේ බිරියට පිළිකාවක් තිබූ අතර එය ශල්‍යකර්මයකින් එය උදරයෙන් ඉවත් කළ නමුත්, පසුව බඩවැල් වෙතද පිළිකාව පැතිරුණු බැවින්, ඇයට දෙවන සැත්කමක් කිරීමට සිදු විය. මෙම අවාසනාවන්ත තත්ත්වයෙහි සාධනීය පැත්ත නම්, මෙම අවස්ථා දෙකේදීම රජයේ රෝහලේදී රෝගියාගේ ප්‍රතිකාර සියල්ල නොමිලේ සිදු කර තිබීමය. ශ්‍රී ලංකාව කලක් අපේක්ෂා කළ සමාජ සුබසාධන රාජ්‍යයේ උරුමයක් වන නිදහස් සෞඛ්‍ය සේවාව, දේශපාලන නායකයන් විසින් එහි ආත්මය සොරකම් කිරීමට පෙර ආරක්ෂා කරගත යුතු එක් උරුමයකි. මහත්මා ගාන්ධි වරක් පැවසූ පරිදි සහ සියලුම ආගමික ගුරුවරුන් එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් පවසා ඇති පරිදි, යහපත් සමාජයක් යනු බහුතරයකගේ හෝ සුළුතරයකගේ යහපැවැත්ම නොව සියල්ලන්ගේම යහපැවැත්ම ආරක්ෂා කරන පරිසරයකි.

ද්විපාර්ශ්වික සහාය

ඉහත කී කතාන්දර, වෙහෙස මහන්සි වී අවංකව වැඩ කරන, නමුත් තමන්ගේ නොවන වරදකින් ජීවිතය ගැට ගසා ගත නොහැකිවී ඇති සාමාන්‍ය මිනිසුන්ගේ දුක් වේදනා වන අතර, දැන් ආර්ථිකය කඩා වැටී ඇති බැවින් ඔවුන්ට එය වඩාත් දුෂ්කර වී ඇත. අරගලය ආරක්ෂක හමුදා විසින් තුවක්කුවෙන් බැටන් පොලුවලින් මර්ධනය කර(මානව හිමිකම් ප්‍රඥප්තියෙන් බැහැරව අපේ සෙබළුන් යුද්ධය ජයගත් ආකාරය පිළිබඳව හිටපු ජනාධිපතිවරයෙක් කීවාක් මෙන්), පුද්ගලයන් ඇප නොමැතිව සහ නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් සිරගත කළ හැකි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් සන්නද්ධ වූ දා සිට සාමාන්‍ය ජනතාව වසරක් තිස්සේ නිහඬව සිටිති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වීමෙන් පසු ජනප්‍රිය මනෝභාවයේ ද වෙනසක් ඇති වී තිබේ. ශ්‍රී ලංකාව තිබූ තැනට සහ ඉන් ඔබ්බට ගෙන ඒමේ ප්‍රාතිහාර්යය ක්‍රියාත්මක කිරීමට මහජනතාව මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව ද ජනාධිපතිවරයාට කාලය හා අවකාශය ලබාදෙමින් සිටියි. අවාසනාවකට මෙන්, ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආධාරකරුවන්ගේ බලාපොරොත්තු, අභිලාෂයන් සහ යහපත් චේතනාවන් බොහෝ දුරට වචනවලට සහ නීති සම්මත කිරීමටත්, ක්‍රියාවන්ටත් සීමා වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

ආර්ථික ප්‍රකෘතිමත් කිරීම හැරුණු විට, ශ්‍රී ලාංකීය සමාජයේ අනෙක් ප්‍රධාන වැරදි රේඛාව වන ජනවාර්ගික ගැටුම සහ රටේ වාර්ගික සහ ආගමික ප්‍රජාවන් අතර පවතින අවිශ්වාසය ආමන්ත්‍රණය කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කරමින් සිටී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නවතම සැසිවාරය මේ වන විට පැවැත්වෙමින් තිබේ. ශ්‍රී ලංකාව එහි බැඳීම්වලට යටත්ව සිටින නිසාත්, දීර්ඝ කාලපරිච්ඡේදයේ පිළිතුරු නොලැබුණු ප්‍රචණ්ඩත්වය, යුද්ධය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැනි ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුව ඇති නිසාත්, සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් මේ වසර අවසන් වන විට ස්ථාපිත කිරීමට රජය ප්‍රතිඥා ලබාදී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමටත්, ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ආකාරයට පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල බෙදාදීමටත් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබේ. සිදුවිය හැකි ආක්‍රමණ හමුවේ ඉඩම්වල අයිතිය සහ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ හඬටද ඔහු ප්‍රමුඛත්වය ලබා දී ඇත.

ගැටලුව වන්නේ ආර්ථිකයේ සහ ජනවාර්ගික සබඳතා යාවන මෙම ක්ෂේත්‍ර බොහොමයක, තමන්ව ආරක්ෂා කරන ක්‍රමවේදයේ වෙනසක් මහජනතාව තවමත් දැක නොතිබීමයි. එකිනෙකා අභිබවා යෑමට ප්‍රමුඛත්වය ලබාදෙමින්, ඉදිරි මැතිවරණය කවදා පැවැත්වුවද, ඒවා ජයග්‍රහණය කරනවා වෙනුවට, ඉදිරි අනාගතය සඳහා රටේ ඉරණමට මග පෙන්වන මූළික ආර්ථික සහ වාර්ගික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය එකඟ විය යුතුය. රට ස්ථාවරව සහ සාමකාමීව පවතින්නේ, විපක්ෂයේ දේශපාලන පක්ෂ ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරමින්, ජනතාව කුපිත කිරීමට හෝ කෝපයට පත් කිරීමට උත්සාහ නොකිරීම නිසාය. එහෙත් නිහඬව සිටීමේ අර්ථයෙන් ලබාදෙන සෘණාත්මක සහයෝගය මෙම අදියරේදී ප්‍රමාණවත් නොවේ. වත්මන් තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරමින්, එම ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු ආකාරය පිළිබඳව තම හොඳම අදහස්, අභිලාෂයන් සහ යෝජනා ඉදිරිපත් කරමින් රජයට ධනාත්මක සහයෝගයක් ලබාදීමට විපක්ෂය කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී මතුව පෙනේ.

  • ආචාර්ය ජෙහාන් පෙරේරා (ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ)
42.31%
17.27%
32.76%