June 20, 2023

තම විදෙස් සංචාර 07ක් සඳහා රුපියල් මිලියන 50කට ආසන්න මුදලක් වැය කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදේශ කටයුතු ඇමැති අලි සබ්රි සඳහන් කරයි.

එම සංචාර සඳහා වැයවූ මුදල මෙරට නියෝජනය කළ නියෝජිතයන් 5දෙනෙක්ගේ මුළු පිරිවැය බව ද ඇමැතිවරයා පෙන්වාදෙයි.

ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UNGA), එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC), ඉන්දියානු සාගර සංගමය (IORA), අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමය (ASEAN) සහ ASEAN කලාපීය සංසදය (ARF) අදාළ නියෝජිතයන් පස්දෙනා ඇතුළත් සංගම් වේ.

එමෙන්ම, එක්සත් ජනපදයේ සහ සෞදි අරාබියේ ද්විපාර්ශ්වික සංචාර දෙකක් ද එකී පිරිවැයට ඇතුළත් බවද ඇමැතිවරයා පවසයි.

තමා එම නියෝජිත පිරිසට නායකත්වය දුන් බවත්, තමන් හැර තවත් නිලධාරීන් 22ක් මෙම සාකච්ඡා සඳහා සහභාගී වූ බවත්, ඔහු සඳහන් කර ඇත.

අදාළ නිල විදෙස් සංචාර සඳහා රුපියල් කෝටි 5කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදියෙක් විසින් වාර්තා කිරීමෙන් අනතුරුව විදේශ ඇමැතිවරයා මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) යටතේ මාධ්‍යවේදියෙක් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පතක් මඟින් මෙම කරුණු අනාවරණය වී ඇති බව එම මාධ්‍යවේදියා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

විදෙස් සංචාර 07ක් සඳහා පමණක් එම මුදල වැය කර ඇති බව මාධ්‍යවේදියා විසින් වැඩිදුරටත් පවසයි.