June 14, 2023

78%කින් අධිප්‍රමාණ වූ එක්සත් ජනපද ඩොරලය 20%කින් පමණක් අවප්‍රමාණ වී ඇති තත්ත්වයක් තුළ රථ වාහන ආයනය කිරීමට අවසර ලබා දීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යනය කළ යුතු බව මුදල් රාජ්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඇමැතිවරයා පෙන්වාදෙන්නේ රුපියල් 202 සිට රුපියල් 360 දක්වා ඉහළ ගිය ඩොලරයේ අගය මේ වන විට පහළ බැස ඇත්තේ රුපියල් 300 දක්වා පමණක් බවයි.

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේ දී ණය යෝජනා ක්‍රමයක් යටතේ හෝ රථ වාහන ආනයනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් විය.

අද (14) රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් සියඹලාපිටිය ඇමතිවරයාගෙන් මේ පිළිබඳ කළ විමසීමක දී ඔහු මෙසේ ද පැවැසීය.

“ආංශික කාරක සභාව ඉතාම වැදගත්. රේගුවේ ආදායම් ඉහළට රැගෙන යාම සඳහා මෙම පෙන්වා දීම පිළිබඳවත් ස්තුතිය පළ කරන්න ඕනෙ. නමුත් මෙවැනි කරුණා ඉතා සැළකිල්ලෙන් විමර්ශනය කරල තමයි තීන්දු තීරණ ගත යුත්තේ. සාමාන්‍යයෙන් වර්ෂයක අපේ ආදායම් ඉලක්කය වෙන්නේ රුපියල් බිලියන 1,226යි. මෙය අපි මාස පහක කාලයක් සඳහා ගණන් බැලුවොත් වෙන්නෙ බිලියන 510ක විතර ප්‍රමාණයක්. නමුත් යථාර්ථවාදීව ගත්තොත් සෑම මාසයකම ආදායමේ නිශ්චිත අගයක් නැහැ. වසරේ මුල් මාස හයේ අපේක්ෂා කරන්නේ අඩු ආදායම් ප්‍රමාණයක්. ඒ අනුව මේ වසරේ මුල් මාස පහේ ඉලක්කම් අගය රුපියල් බිලියන 333යි. නමුත් අපේ ආදායම රුපියල් බිලියන 330යි. ඒ අනුව ඉලක්ක ගත ආදායමෙන් 99%ක් අපට ලැබිල තියෙනවා.

ඩොලර් හිගය නිසා අපට විඳින්නට සිදු වූ දේ ඔබට මතක ඇති. අදටත් අප කිව් ආර් කේතයකට ඉන්ධන ලබා දෙන්නේ ඒ හිගය නිසයි. රුපියල් 202 වටිනාකමේ තිබුණ ඩොලරයේ අගය රුපියල් 360 දක්වා 78%කින් වර්ධනය වුණා. අද වන විට එය 360 ප්‍රමාණයේ සිට 300 දක්වා ඒ අගය අඩුවෙලා තියෙන්නෙ 20%කින් පමණ ප්‍රමාණයකින්. අපි භාණ්ඩ 4000කට පමණ ආනයන සීමා පනවල තිබුණ. ඉන් තවත් 900ක පමණ භාණ්ඩ ලැයිස්තුවක් තියෙන්නේ ආනයනය තහනම් ලැයිස්තුවේ. එම ලැයිස්තුවෙන් 300ක් ඉක්මවූ ප්‍රමාණයක් වාහනවලට අදාළ ආනයනයන්.

ඒ වගේම මේ යෝජනාවේ පරිදි ණය යෝජනා ක්‍රමයක් මගින් වාහන ආනයනය කළ හැකි ද යන්න පිළිබඳවත් අපි ගැඹුරු අධ්‍යනයක් කළ යුතුයි. මොකද අපි විශාල ණය බරකින් ගොඩ එන්න උත්සහ දරමින් සිටින රටක්. ඒ නිසා මෙහි ඉදිරි පෙනුම පමණක් බලලා තීන්දු තීරණ නොගෙන දිශා අටම විමසා බලල, ඉන් සමස්ත ආර්ථිකයකට ම වෙන බලපෑම ගැඹුරින් බලල තීරණය ගත යුතුයි.” යැයි ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

42.31%
17.27%
32.76%