April 29, 2025

ඉකුත් පාලනය සමයේ අලුත් අවුරුද්ද සඳහා ජනාධිපතිවරයා ජනතාව වෙත එවන ලද කෙටි පණිවුඩවල වියදම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛනවල දෝෂයක් ඇති බවක් පෙනෙන්නට ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පිළිගෙන තිබේ.

පසුගියදා පැවති දේශපාලන රැලියක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසා තිබුණේ ජනාධිපතිවරයාගේ වාර්ෂික සිංහල හා දෙමළ අලුත් අවුරුදු කෙටි පණිවුඩය යොමු නොකිරීම හේතුවෙන් මෙම වසරේදී රජයට රුපියල් මිලියන 98ක මුදලක් ඉතිරි වූ බවයි.

කෙසේවෙතත් ‘අද දෙරණ’ ඔස්සේ විකාශය වූ කාලීන වැඩසටහනකට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ මන්ත්‍රීවරිය සඳහන් කළ එම මුදල වැරදි සහගත බව පෙනෙන බව සහ ඇය එය ලබාගෙන ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වාර්තාවකින් බවයි.

“දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීමට ජාතික ජනබලවේගය බලයට පැමිණ තිබෙනවා. ඒ නිසා අපි කරන ප්‍රකාශ සඳහා අපි වගකීමක් ගත යුතුයි. මේ වගේ අඩුපාඩු අපිට හානියක් සිදු කරනවා. මෙම වැරදි නිවැරදි කිරීමට අපි අපේ උපරිමය කරනවා,” අමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩුවේ විශ්වසනීයත්වයට බලපෑම් එල්ල වන අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවට රජයේ මන්ත්‍රීවරුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එම වැඩසටහනේදී අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එවැනි සිද්ධීන් පක්ෂය බැරෑරුම් ලෙස සලකන බව සහ ඒවා නිවැරදි කිරීමට දැනටමත් මැදිහත් වී සිටින බවයි.

“අපි මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ පාක්ෂිකයින් සමඟ සාකච්ඡා කර ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අපි මෙම කාරණා සැහැල්ලුවෙන් සලකන්නේ නැහැ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

එක් මන්ත්‍රීවරයකුගේ හෝ කිහිපදෙනකුගේ ක්‍රියාකලාපය සහ ප්‍රකාශයන් හේතුවෙන් සමස්ත රජයම අසත්‍ය ප්‍රකාශ කරන බවට උපකල්පනය කළ නොහැකි බව ද ඔහු පෙන්වාදුන්නේය.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ මෙවැනි අවස්ථාවලදී රජය වගකීම භාරගෙන කැබිනට් මාධ්‍ය හමුවේදී එය නිවැරදි කිරීමට හෝ සමාව ගැනීම වැනි ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.