April 28, 2025

කොළඹ ජාතික රෝහලේ Picture Archiving and Communication පද්ධතිය (PAC System) පසුගිය සති දෙකක කාලය තුළ අක්‍රීය වීම හේතුවෙන් CT සහ MRI ස්කෑන් පරීක්ෂණ සඳහා රෝගීන්ට දින වෙන්කර කාලසටහන් කිරීම අත්හිටුවීමට සිදුව ඇති බව වාර්තා වේ.

පද්ධති සපයන්නාට කළ යුතු ගෙවීම් පියවීමට කටයුතු නොකිරීම සහ සම්පූර්ණ දත්ත ගබඩා ජාලය බිඳවැටීම ඊට හේතුවී ඇතැයි පැවැසේ.

විකිරණවේද සේවාවන් විධිමත් කිරීම සඳහා මීට වසර කිහිපයකට පෙර රෝහල මගින් PAC පද්ධතිය ස්ථාපනය කර තිබිණි.

එම පද්ධතිය හඳුන්වාදීමත් සමඟම, CT, MRI සහ අනෙකුත් විකිරණ රෝග විනිශ්චය සම්බන්ධ රූප සහ දත්ත ඩිජිටල්කරණය කර ගබඩා කිරීම ආරම්භ කර තිබේ.

මෙහෙයුම් පිරිවැය අඩුකිරීම සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා එම පද්ධතිය ස්ථාපිත කළ ද මේ වනවිට එය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වී ඇත.

නඩත්තු වියදම් හේතුවෙන් එම පද්ධතිය මේවනවිට ප්‍රයෝජනයක් ගත නොහැකි තත්වයට පත්ව තිබෙන අතර එහි ප්‍රතිපලයක් ලෙස CT සහ MRI පරීක්ෂණ අත්හිටුවීමෙන් රෝගීන්ගේ රෝග විනිශ්චය සඳහා දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇත.

මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන කඩිනමින් මැදිහත් වී සේවා කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීම සඳහා අදාළ සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සභාව සෞඛ්‍ය අමාත්‍ය, සෞඛ්‍ය ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර මේ සම්බන්ධයෙන් Daily Mirror කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා ඇත්තේ, ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර අඩුපාඩු නිවැරදි කිරීමට පියවර ගනිමින් සිටින බවයි.