April 26, 2025

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතින් නිර්මාණය කර ඇත්තේ බලවත් අල්ලස් කොමිසමක් යැයිද, දේශපාලකයන්ගේ ප්‍රකාශවලින් ඊට අපහාසයක් සිදුවන්නේදැයි තමා විමසිල්ලෙන් බලා සිටින්නේ යැයිද එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි.

දූෂණ විරෝධී පනතේ 118 වැනි වගන්තියෙන් එසේ කෙරෙන අපහාස කිරීම්වලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ආකාරය පැහැදිලිව සඳහන් කර ඇතැයිද ආණ්ඩුවේ අයකු වරදක් කළත් අත්අඩංගුවට ගත හැකි අයුරින් බලවත් ලෙසින් එය ක්‍රියාත්මක වන්නේ යැයිද දිසානායක මහතා අවධාරණය කළේය.

එමනිසා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරන නඩු දේශපාලන පළිගැනීම් ලෙස අර්ථකථනය කරන දේශපාලකයන්ගෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත කියවන්නැයි තමා ඉල්ලා සිටින්නේ යැයිද රංග දිසානායක පැවැසීය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් මේ වන විට මහාපරිමාණ දූෂණ හා වංචා සම්බන්ධ පැමිණිලි 300ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයිද, එම පැමිණිලිවල ලිපිගොනු වසර ගණනාවක් තිස්සේ විමර්ශන ආරම්භ නොකර තිබී ඇතැයිද රංග දිසානායක කීවේය.

ඉන් පැමිණිලි බහුතරයක් පැවැති ආණ්ඩුවල ඇමැතිවරුන්ට එරෙහිව ඉදිරිපත්ව ඇතැයිද පැමිණිලිවල විමර්ශන කඩිනමින් අවසන් කර වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ යැයිද ඔහු පැවැසීය.

2026 මාර්තු 1 වැනිදා වන විට අල්ලස් කොමිසමේ බලය විමධ්‍යගත කරන්නේ යැයිද දිස්ත්‍රික්ක මට්ටමින් පිහිටුවන කොමිසම් කාර්යාල හරහා විමර්ශන ක්‍රියාවලිය තවත් ශක්තිමත් කරන්නේ යැයිද ඔහු කීය.

“මේ පනතේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ පනතිත් එහි පාලනය සියලු බැදීම්වලින් ඉවත් කර තිබෙනවා. ඒ ඉවත් කිරීම යනු රජය සමඟ බැඳීම්වලිනුත් ඉවත් කිරීම, 2023 අංක 9 දරන පනත සකස් කරනු ලැබ තිබෙන්නේ ඉතාම ස්වාධීන කොමිෂන් සභාවක් සකස් කිරීම සඳහා. එය හොංකොං වැනි රටවල කොමිෂන් සභා සමඟ සසඳා අන්තර්ජාතික උපමාන සමඟ සසඳා සකස් කළ විශිෂ්ට පනතක්. නීතියක් හැදුවට පස්සෙ කැමැති වුණත් නැතත් ඒක නීතිය.
දැන් සකස් කර ඇති අල්ලස් කොමිසම මොන ආකාරයේ එකක්ද? ඒක රජයේ පාලනයෙනුත් ඉවත්කර තිබෙනවා. රජයේ යම් දෙපාර්තමේන්තුවක් යටතේ මේ කොමිසම නෑ, අවශ්‍ය මුදල් ඉල්ලා ඇස්තමේන්තුව අපි ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුව තමයි ඒක සම්මත කරන්නේ, මේක 26 වැනි වගන්තියේ කියනවා මේ කොමිසමට සිටිය යුත්තේ වෙනම සේවක පිරිසක්. ඒ නිසා කරුණාවෙන් කියනවා සමහර නඩු පැවරීම් කරන කොට දේශපාලන පළිගැනීම් කියන දේශපාලකයන්ට අල්ලස් හෝ දූෂණ කොමිසම ඒකට ගාවගන්න එපා කියලා, මම ඉතාම විමසිල්ලෙන් බලන් ඉන්නවා අල්ලස් කොමිසමට යම් අපහාසයක් වන වැඩක් සිදුවෙනවාද කියලා. පනතේ 118 වගන්තියේ පැහැදිලිව තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ හැකි බව.
මේ පනත ගෙන ආ අයගේ අදහස වී තිබෙන්නේ සම්පුර්ණයෙන් ස්වාධීන කොමිසමක් හැදීම” යැයි හෙතෙම සඳහන් කරයි.

“2023 අංක 9 දරන පනත කියවන්නැයි මාධ්‍ය ඉදිරියට ඇව්ත් ප්‍රකාශ නිකුත් කරන දේශපාලකයන්ගෙන් ඉතාම වුවමනාවෙන් මම ඉල්ලනවා. සමහර දේශපාලකයන් පාර්ලිමේන්තුවේ සිටියදී සම්මිත කළ පනත නැවත කියවන්න. එහෙම නොකියවා ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන්, අල්ලස් කොමිසම හෝ රටේ නීතිය ක්‍රියාත්මක වීම් සම්බන්ධයෙන් ඉතා හොඳ මතයක් මිනිසුන් තුළ නෑ. ජනාධිපතිවරයා දූෂණ විරෝධී දිනයේ කිව්වා වගේ පොඩ් සත්තු දැල්වලට අහුවෙනවා ලොකු සත්තු දැල් කඩන් යනවා වගේ මතයක් තියෙනවා. එහෙත් නව පනතින් මේ තත්ත්වය නැතිකර තිඛෙනවා. ඒ අනුව දූෂණ විරෝධී සැලැස්ම ක්‍රියාත්මක වන්නේ පසු විපරමක් සහිතවයි.” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.(මව්බිම)