April 26, 2025

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා සහ සටහන් ආයතනයේ වාර්තාකරුවකු වන අධිකරණ ජනමාධ්‍යවේදියකු ලෙස දීර්ඝ කාලයක් සේවය කරන ෆසීර් මොහොමඩ් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ වාර්තාකරණයට බාධා කරමින් උසාවි ශාලාවෙන් පිටතට ඇද දමා ඇත.

මෙයට පාදක වී ඇත්තේ සටහන් ආයතනය මගින් පසුගිය සතියේ වාර්තා කළ පොලිස් වධහිංසාවකට අදාළ නඩුවකි. එම නඩුවට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳ මාධ්‍යවේදී ෆසීර් මොහොමඩ් සටහන් ආයතනයේ වාර්තාකරණයේදී කරුණු හෙළිදරව් කළේය.

මීගමුව ඇවෙන්ඩ්‍රා හෝටලයෙන් මංකොල්ලකෑවායැයි පවසමින් පොලිස් නිලධාරීන් පිරිසක් රත්තරන් බඩු වෙළඳසැලක හිමිකරුවෙකුට වධහිංසා කිරීම සහ ඔහුගේ දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් වූ එම නඩුව මෙවර කැඳවූ අවස්ථාවේදී ඔහු වාර්තාකරණයට සහභාගී වී තිබේ. ඔහු ප්‍රකාශ කළ ආකාරයට මෙම සිදුවීම වාර්තාකරණය සඳහා එතැන සිටි එකම මාධ්‍යවේදියා ෆසීර් මොහොමඩ්ය.

ඔහු සිදුවීම වාර්තා කරමින් ලියමින් සිට තිබේ. ඔහු උසාවියේ සිටගෙන සිදුවීම් විමසිල්ලෙන් අසමින් වාර්තාකරණයේ යෙදෙමින් සිට තිබේ.

සාමාන්‍ය ක්‍රමවේදය අනුව ෆසීර් වාර්තාකරණයට උසාවි භූමියට ඇතුළු වී තිබිණි. ඔහු වාර්තා කරන මොහොතේ ජනමාධ්‍ය ආයතන හැඳුනුම්පත පැළඳ සිට ඇත.

එම අවස්ථාවේදී උසාවි සැරයන්වරයකු පැමිණ මොනවාද කරන්නේ කියා විමසූ අතර ෆසීර් ප්‍රකාශ කර ඇත්තේ තමන් වාර්තා කරමින් සිටින බවය.
“එළියට බැහැපන්” යනුවෙන් එයින් පසු එම නිලධාරියා කියා ඇත.

එම තර්ජනය නොතකා ෆසීර් මොහොමඩ් සිය වාර්තාකරණයේ යෙදී තිබේ. එයින් පසු, පොලිස් නිලධාරියෙකු විවෘත අධිකරණයේ ලියමින් සිටි ජනමාධ්‍යවේදියාව එළියට ඇදගෙන ගොස් ඇත.

සාක්කුවේ තිබුණු දුරකථනය පැහැරගෙන පටිගත කරන්නේයැයි කියමින් මුර කුටියකට එය බාර දී තිබේ. දූරකථනය ඒ වන විටත් ක්‍රියා විරහිතව තිබී ඇත. දූරකථනය රැගෙන එන්නට නොහැකි නම් ගේට්ටුවෙන් දූරකථනය සමග ඇතුළට ගත්තේ මන්දැයි ඔහු විමසා ඇත.

සිදුවීම පිළිබඳ අධිකරණ සේවා කොමිසම, අගවිනිසුරු, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අනෙකුත් වගකිවයුතු සියලු ස්ථානවලට පැමිණිලි කිරීමට ජනමාධ්‍යවේදී ෆසීර් මොහොමඩ් සහ තරුණ ජනමාධ්‍යදීන්ගේ සංගමය කටයුතු කරමින් සිටී.

(ශාලික විමලසේන)