April 23, 2025

හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වැඩසයහන් ඉදිරිපත් කරන්නෙකු වන ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් රූපවාහිනී වැඩසටහනක් වන Top Gear හි රූපගත කිරීම් අතර ඔහු මුහුණපෑ බිහිසුණු මෝටර් රථ අනතුරක් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

ඔහු අනාවරණ කර ඇත්තේ එම මෝටර් රථ අනතුර හමුවේ තමන් දරුණු ලෙස මානසික පීඩාවකට ද පත්ව සිටි බවයි.

2022 දී සිදු වූ අනතුරෙන් මුහුණට දරුණු ලෙස තුවාල සිදුවූ බවත්, ඒ හමුවේ යළි සුපුරුදු ජීවන රටාවට පැමිණීම අසීරු වූ බව ද ඔහු එහිදී පිළිගෙන ඇත.

47 හැවිරිදි හිටපු එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩකයා පවසා ඇත්තේ, එම අනතුරෙන් පසු මාස ​​හයක් නිවසින් පිටව නොගිය බවත්, එය තමාට ශාරීරික හා මානසික පීඩාවක් ඇති කළ බවයි.

2022 දී BBC මෝටර් රථ වැඩසටහන රූගත කිරීමේදී සිදු වූ එම අනතුරෙන් ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්ගේ මුහුණට සහ ඉළඇට පෙළට බරපතල තුවාල සිදුවිය.

ITV ඔස්සේ විකාශය වූ Jonathan Ross Show හිදී එම බිහිසුණු අනතුර සම්බන්ධයෙන් අමිහිරි මතකය අවදි කරමින් ෆ්ලින්ටොෆ් පවසා ඇත්තේ, එම සිද්ධියෙන් අනතුරුව තමා අබාධිත කාංසාව සමඟ පොරබදමින් සිටි බව සහ බියකරු සිහිනවලින් පීඩාවිඳි බවයි.

”එම අනතුර නිසා පැහැදිලිවම මට ඇති වූ ශාරීරික කැළැල් තිබේ. නමුත් මානසික බලපෑම ඊට වඩා වැඩියි” වැඩසටහන මෙහෙයවූ ජොනතන් රොස්ට ඔහු පවසයි.

“මම මාස හයක් අටක් ගෙදරින් එළියට ගියේ නැහැ. මම ගෙදරින් පිටව ගියේ වෛද්‍ය පත්වීම් සහ සැත්කම් සඳහා පමණයි,” ඔහු සඳහන් කරයි.

පුහුණුකරුවකු ලෙස ක්‍රිකට් ලෝකයට නැවත පැමිණීමට පෙර ඔහුගේ කනස්සල්ල මඟහරවා ගැනීම සඳහා කාමරයෙන් පිටතට පැමිණීමට ප්‍රථම කණ්නාඩිය ඉදිරිපිටට ගොස් තමා සමගම කතාබස් කිරීමට සිදු වූ බව ද හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා හෙළිකරයි.

“මම කාටවත් මගේ මුහුණ මුඛ ආවරණයක් නොමැතිව පෙන්වූයේ නැහැ” ෆ්ලින්ටොෆ් සිය දිවියේ කඩාවැටීම පිළිබඳ ඔහුගේ අත්දැකීම් විස්තර කරන අතරම පැවසුවේ ඒ පිළිබඳ සෑම දෙයක්ම මතකයේ අඛණ්ඩව පවතින බවයි.