April 22, 2025

පුද්ගල චරිත ප්‍රවර්ධනය සඳහා පොලිසියේ පෙර ගමන් රථ භාවිත නොකළ යුතු බව අමාත්‍ය මගින් නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු සඳහන් කළේ මාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබෙන එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි.

පෞද්ගලික උපකාරක පංති ගුරුවරියක විසින් පොලිස් පෙර ගමන් රථ පෙරටු කරගෙන පැවැත් වූ වැඩසටහනක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ද ප්‍රශ්න කළ අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එම අවස්ථාවේ වරදක් සිදුව ඇති බවයි.

අමාත්‍යවරයා සඳහන් කළේ තමා දන්නා පරිදි මෙම වැඩසටහන සඳහා පාසල් සිසුන් පැමිණෙන බැවින් පොලිස් ආරක්ෂාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇති බවයි.

දරුවන් සිටින ස්ථානයක් සඳහා පොලිස් ආරක්‍ෂාව ලබාදීමට පොලිසිය කටයුතු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව සඳහන් කළේය.

විමර්ශන වාර්තාව අනුව මෙය පුද්ගල වරදකින් සිදුවූ කරුණක්ද එසේත් නැතහොත් නීතියේ පවතින අඩුපාඩුවක් හේතුවෙන් සිදුවූ කරුණක්ද යන්න හෙළිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.