April 21, 2025

දළදා වහන්සේ වන්දනාමාන කිරීමට පෝලිම්වල සිටින ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායම් පත්කර ඇතැයි මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල පවසයි.

දළදා වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණ පෝලිම්වල සිටින සියලු ජනතාව ආවරණය වන පරිදි පැය 24 පුරා මෙම සේවාව ක්‍රියාත්මක බව ද ඔහු කියයි.

මෙය අධික අව්රශ්මිය පවතින කාලවකවානුව නිසාත්, දිවා රැයේ විවිධ වයස් මට්ටම් වල පුද්ගලයන් දිගු කාලවේලාවක් පෝලිම්වල සිටින අතරතුර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය රැකගැනීම සඳහා, ඔවුන් ඉල්ලා සිටින අවස්ථාවන්වල හෝ එසේ නොමැතිව පවා එම ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් හා ප්‍රතිකාර සේවා ඔවුන් සිටින ස්ථානයටම කඩිනමින ලබාදීම මෙම නව වැඩපිළිවෙලේ අරමුණ බව හෙතෙම සඳහන් කරයි.

මේ කණ්ඩායම් ඒ ඒ කලාපවල පිහිටුවා ඇති විශේෂ සෞඛ්‍ය මධ්‍යස්ථාන සමග නිරන්තරයෙන් සම්බන්ධීකරණය කරන අතර, අවශ්‍ය අවස්ථාවල අදාළ පුද්ගලයන් සිටින ස්ථානය වෙත වෛද්‍යවරුන් ඇතුළුව සෞඛ්‍ය කණ්ඩායම ගෙන්වාගැනීමත්, අත්‍යවශ්‍ය විටක ගිලන්‍රථ වහාම කැඳවීමටත් පියවර ගනු ඇත.

සෞඛ්‍ය කාර්‍යමණ්ඩල සාමාජිකයන් සහ ප්‍රදේශයේ ස්වෙච්ඡා සෞඛ්‍ය කණ්ඩායම් එක්කර මෙම සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායම් සකස්කර ඇති බව ද අධ්‍යක්ෂවරයා පවසයි.

මේ සියළු පෝලිම් ආවරණය වන පරිදි වරින්වර සියලු ස්ථානය පසුකරමින් සෞඛ්‍ය පණිවුඩ හා සෞඛ්‍ය ආරක්ෂාව පිණිස අවශ්‍ය කරුණු නිවේදනය කරමින් ප්‍රදේශය පුරා ජංගම සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.