April 21, 2025

රුපියල් මිලියන 300ත් 600ත් අතර ඉහළ වටිනාකමකින් යුත් ගිලන් රථ පාර්ලිමේන්තුව අසල පෞද්ගලික වාහන ආනයන රථගාලක දිරාපත් වන බව වෛද්‍ය චමල් සංජීව අනාවරණය කරයි.

ඒ නිසා මේ සම්බන්ධව සොයාබලා සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනම් පියවර ගතයුතු බව හෙතෙම පවසයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී මෙරටට ගෙන්වන ලද මෙම ගිලන් රථ රෝහල්වලට බෙදාදීමෙන් පසුව නඩත්තු කටයුතු සඳහා මෙම ස්ථානයට යොමුකර ඇතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අදාළ රෝහල් බලධාරීන් නිසි පරිදි ඇස්තමේන්තු අනුමත නොකිරීම නිසා මේ අන්දමට මාස ගණනාවක් තිස්සේ මෙම ස්ථානයේ ගිලන් රථ අබලන් තත්ත්වයට පත්වෙමින් පවතින බව ඔහු සඳහන් කරයි.

ඇතැම් ගිලන් රථ ඒම ස්ථානයේ මාස හයකට වැඩි කාලයක් තිස්සේ පවතින බව වැඩිදුරටත් සඳහන් කරන ඔහු, මෙම ගිලන් රථ යොමුකරන ලද රියදුරන් පවා ඉන් පසුව මේ ගැන කිසිදු සොයාබැලීමක් සිදු කරනොමැති බව ද හෙතෙම පෙන්වාදෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන අවභාවිතය අවම කිරීම සඳහා නඩත්තුව පවත්වා ගෙනයෑම සහ කළමනාකරණය උදෙසා වාහන භාවිතය සම්බන්ධ තොරතුරු පද්ධතියක් තමන් 2019 වර්ෂයේ දී හඳුන්වාදුන් නමුත්, ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් කැමැත්තක් නොදැක් වූ බවත්, මෙවන් පද්ධතියක් හරහා මුදල් අවභාවිතය අවම වන බැවින්, ඉහළ සෞඛ්‍ය බලධාරීන් මෙවැනි ඩිජිටල් පද්ධති හඳුන්වාදීමට අකමැති බවත් වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කරයි.