April 19, 2025

5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති ගුරුවරිය සහභාගී වන උත්සවයක් සඳහා පොලිස් පරිවාරක රථ ලබාදී තිබෙන අයුරු එම උත්සවයේ සජීවී විකාශය අතරතුර දක්නට ලැබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාල වේදිකාවල කතාබහක් නිර්මාණය වී තිබේ.

අදාළ ගුරුවරියගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ ‘ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උ‍ළෙල’ නමින් උත්සවයක් ඉකුත් 17 වනදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වා තිබිණි.

එම උත්සවයේ සජීවි විකාශයක් අතරතුර ලබාගත් වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, සම්මන්ත්‍රණ ශාලාව වෙත ඇය පැමිණී මෝටර් රථය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ මෝටර් බයිසිකල් 4ක් සහ තවත් පරිවාරක මෝටර් රථයක් මඟින් විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇති බවයි.

ඕනෑම අයෙකුට සිදුකරන ඉල්ලීමක් හරහා මෙලෙස පොලිස් ප්‍රභූ ආරක්‍ෂක පරිවාර රථ ලබාගැනීමට හැකියාවක් තිබේද යන්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්හු විසින් මේ වන විට ප්‍රශ්න කරමින් සිටිති.

ඉතා මිල අධික SUV වර්ගයේ ජීප් රථයකින් උත්සවයට ඇය සහභාගී වී තිබූ අතර ඇය සම්මන්ත්‍රණ ශාලාව වෙත ඇතුළු වීමට පෙර හෙලිකොප්ටරයක් ආධාරයෙන් මල් වැස්සක්ද ඇද හැලීමට සලස්වා තිබුණි.(මුලාශ්‍රය News 19)