April 18, 2025

නිශ්චිත පැහැදිලි කිරීමකින් තොරව ඉකුත් 2019 වසරේ දී ලබා දුන් එහෙත් ක්‍රියාත්මක නොවූ ස්ථාන මාරුව සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ පර්යේෂණවලට බාධා කිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංග අබේගුණසේකර ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස තමන් තීරණාත්මක පශ්චාත් ප්‍රහාර පර්යේෂණ විශ්ලේෂණ සඳහා නායකත්වය දෙමින් සිටියදී 2019 ජනාධිපතිවරණයෙන් පසු ඔහු ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරුණු පැහැදිලි කිරීමකින් තොරව හදිසියේ ලබා දුන් ක්‍රියාත්මක නොවූ ස්ථාන මාරු කිරීම පිළිබඳව ඔහු එම ලිපිය මගින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත.

“මෙම ස්ථාන මාරුව සිදු කළ ආකාරය දේශපාලන මැදිහත්වීම් සහ ආයතනික සම්මුතිය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි. 2019 මැතිවරණයෙන් අනතුරුව, බර්ලිනයට අමාත්‍ය උපදේශක ලෙස මාරු කිරීමක් ගැන මට දන්වනු ලැබුවා, එය කිසි විටෙකත් ක්‍රියාත්මක කළේ නැහැ” ඔහු පැවසීය.

එමෙන්ම අදාළ ලිපියෙන් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ 2024 ජුනි 2 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඔහුගේ නිවසේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මෙම ස්ථාන මාරුව පිළිබඳ විමසූ අවස්ථාවකදී ඒ සඳහා ඔහුගේ පෞද්ගලික සම්බන්ධයක් පවතින බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කර ඇති අතර එම තීරණය ජ්‍යෙෂ්ඨ උපදේශකයින් විසින් ගනු ලැබූවක් බව පවසා ඇති බවයි.

එකල, Pathfinder පදනමට සමීපව අනුබද්ධ උපදේශකයින් කිහිප දෙනෙකු මෙම තීරණයට බලපෑම් කළ බව පෙනී ගි‍ය බවත්,
මාරුවීම දැනුම් දුන් කාලය තුළ, ඔවුන්ගේ පර්යේෂණවලට මැදිහත් වූ බව කියන පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩගෙන් සමාව ඉල්ලා සිටින ලෙස මහාචාර්ය රොහාන් ගුණරත්න විසින් තමාට කිහිප වතාවක්ම උපදෙස් දෙන ලද බවත් අසංග අබේගුණසේකර සිය ලිපියේ දක්වා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයා සිය ලිපිය මගින් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියේ මෙම කරුණු සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙන ලෙසයි.

“පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය, නිලධාරිවාදී අපැහැදිලි කිරීම් සහ දේශපාලන අවශ්‍යතා තුළ වළලා නොදැමිය යුතුය. මගේ හදිසි ස්ථාන මාරුව සම්බන්ධයෙන් යුක්තිය ඉටු වන්නේ නම්, මම අවංකව සහ කැපවීමෙන් මගේ රටට සේවය කිරීමට සූදානම්. විධිමත් ඉල්ලීමක් ලැබුණු පසු, පරීක්ෂණයට මගේ සම්පූර්ණ සහයෝගය සහ සහාය ලබා දෙන්නෙමි, ” යනුවෙන් ඔහු සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.