April 16, 2025

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට විරෝධය පළකරමින් සහ පලස්තීන ජනතාව සමඟ ‘අධිෂ්ඨානශීලී සහයෝගීතාව’ ප්‍රකාශ කරමින් මාලදිවයින ඊශ්‍රායල ජාතිකයන්ට රටට ඇතුළුවීම තහනම් කර තිබේ.

මාලදිවයින් පාර්ලිමේන්තුව විසින් මෙම නියෝගය සම්මත කිරීමෙන් පසු ඊයේ ජනාධිපති මොහොමඩ් මුයිසු මෙම නීතියට අත්සන් තැබීය.

ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාර නතර කරන තෙක් සියලුම ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට මාලදිවයින තහනම් කිරීමට මුයිසුගේ කැබිනට් මණ්ඩලය පසුගිය වසරේද තීරණය කළ නමුත් ඊට අදාළව නීති සම්පාදනය අතරමග ඇණහිට තිබිණි.

2024 මැයි මාසයේදී ප්‍රධාන විපක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරයකු වන මීකයිල් අහමඩ් නසීම් විසින් මාලදිවයින් පාර්ලිමේන්තුවට මීට අදාළ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලද අතර, එමගින් රටේ ආගමන පනත සංශෝධනය කිරීමට උත්සාහ කළේය.

කෙසේවෙතත් එම උත්සාහයෙන් දින 300 කට වැඩි කාලයකට පසුව, ද්විත්ව පුරවැසියන් ඇතුළු ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමියන් තහනම් කිරීම සඳහා රටේ නීති වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය අවසානයේ තීරණය කළේය.