April 13, 2025

මෑතකදී පනවන ලද තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාව විසින් ඉහළ මිල ගණන් යටතේ අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරන තේ සඳහා ද බලපෑමක් ඇති කරනු ඇතැයි කර්මාන්ත ආරංචි මාර්ග පවසයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව සිලෝන් ටී කිලෝග්‍රෑම් මිලියන 6.4ක් එක්සත් ජනපදයට අපනයනය කර තිබිණි.

ඊට කිලෝග්‍රෑම් මිලියන 2.2ක් තොග වශයෙන් (සියයට 35), කිලෝග්‍රෑම් මිලියන 2.2ක් තේ පැකට් (සියයට 35), කිලෝග්‍රෑම් මිලියන 1.1ක් තේ බෑග් (සියයට 16.4) සහ හරිත තේ මෙන්ම අනෙකුත් ඇසුරුම්වල තේ කිලෝග්‍රෑම් මිලියන 0.84ක් (සියයට 13.12) වශයෙන් ඇතුළත් විය.

2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේ අමෙරිකා එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවෙන් නැව්ගත කිරීම් සියයට 22කින් සැළකිව යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

මෙය එක්සත් ජනපදයේ පරිභෝජනය කරන විශාලතම තේ ප්‍රමාණය වන ‘පානය කිරීමට සූදානම් තේ’ පරිමාව වැඩි කිරීමෙන් ශ්‍රී ලංකාව වෙළඳපොළට පිවිසීමේ ප්‍රතිඵලයක් විය.

ශ්‍රී ලංකා රේගු දත්තවලට අනුව, මෙම වෙළඳ පරිමාව රුපියල් බිලියන 13.5ක් වූ අතර එය 2024 දී ජාතික සාමාන්‍යය වූ කිලෝග්‍රෑමයකට ඩොලර් 5.83ට සාපේක්ෂව කිලෝග්‍රෑමයකට ඩොලර් 7ක වටිනාකමක් ඇති කරයි.