April 10, 2025

නානුඔය සහ දෙමෝදර අතර විශේෂ එළිමහන් නැරඹුම් පහසුකම් සහිත ‘කැලිප්සෝ’ දුම්රිය සේවාව ආරම්භ කිරීමෙන් අනතුරුව දුම්රිය ධාවනය වූ එහි පළමු දිනයේදී රුපියල් 720,000 ක ආදායමක් උපයා ඇතැයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී(මෙහෙයුම්) වජිර පොල්වත්තගේ පවසයි.

ආරම්භක දිනයේ ප්‍රවේශපත්‍ර වෙන්කරගෙන තිබුණේ මගීන් 72ක් පමණක් වුවද ආසන 172 කින් සමන්විත දුම්රිය ඉකුත් 08 වනදා නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දක්වා ගමන් ආරම්භ කළ බවද ඔහු සඳහන් කරයි.

වජිර පොල්වත්තගේට අනුව එහි සියලුම ආසන වෙන්කර තිබුනේ නම් එදින ආදායම රු. 153,000 කි.

කැලිප්සෝ දුම්රිය විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ එහි ගමන් කරන මගීන්ට මාර්ගයේ ස්වාභාවික සුන්දරත්වය විඳගැනීමට හැකියාව හිමිවන පරිදිය.

එය එළිමහන් නැරඹුම් මැදිරියක්, සජීවී සංගීත පහසුකම් ඇතුළු විනෝදාස්වාදය මෙන්ම ආහාර පාන සඳහා පහසුකම් සපයන විශේෂ භෝජනාගාරයකින් ද සමන්විත වේ.

සංචාරකයන්ට දර්ශනීය චමත්කාරය භුක්තිවිඳීමට ඉඩ සලසන ලෝක ප්‍රකට ආරුක්කු පාලමේ කෙටි නැවතුමක් හිමිවීම ද මෙම දුම්රිය ගමනේ විශේෂත්වයකි.

තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ දුම්රිය උමං මාර්ග කිහිපයක් හරහා ගමන් කිරීමයි.

කැලිප්සෝ දුම්රියේ ගමන් කරන මගීන්ට රසවත් කෙටි ආහාර භුක්ති විඳීමේ අවස්ථාව ද හිමි වේ.

සම්පූර්ණ දුම්රිය ගමනට ගතවන කාලය පැය හතරහමාරක් පමණ වේ.

පරිසරයේ දර්ශනීය සුන්දරත්වයට ප්‍රසිද්ධ නානුඔය-දෙමෝදර දුම්රිය මාර්ගය දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන තේරීමකි.

“අන්තර්ජාතික සංචාරකයන් අතර දිනෙන් දින ඉහළ යන ජනප්‍රියත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට සැළකිය යුතු දායකත්වයක් ලබාදෙමින් ‘කැලිප්සෝ’ සේවාව මගින් විදේශ විනිමය ඉපැයීම ඉහළ නැංවීම දුම්රිය දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි” යනුවෙන් වජිර පොල්වත්තගේ පවසයි.

“කැලිප්සෝ දුම්රිය සෑම සඳුදා දිනකම දෙමෝදර සිට නානුඔය දක්වාත් සෑම අඟහරුවාදා දිනකම නානුඔයේ සිට දෙමෝදර දක්වාත් ධාවනය කෙරෙනවා. එය පෙරවරු 8.10 ට නානුඔයෙන් පිටත් වනවා. දහවල් 12:25 ට දෙමෝදර දුම්රිය ස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා. ආපසු ගමන ආරම්භ වන්නේ පස්වරු 1.15ටයි. එය දෙමෝදර සිට සවස 5:35 ට නානුඔයට ළඟාවනවා. නානුඔය සිට දෙමෝදර ගමන සඳහා එක් මගියෙකුට ප්‍රවේශපත්‍ර මිල රුපියල් 10,000ක් සහ දෙමෝදර සිට නානුඔය දක්වා ආපසු ගමන සඳහා රුපියල් 3,500 ක්” ඔහු සඳහන් කරයි.

එමෙන්ම ‘කැලිප්සෝ’ දුම්රිය සියලුම සංචාරකයන්ට අමතක නොවන හා වටිනා අත්දැකීමක් ලබාදෙන බවත්, දර්ශන නැරඹීමේ අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා ඉදිරියේදී තවත් විවෘත නිරීක්ෂණ මැදිරි දුම්රියට එක්කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු අනාවරණය කරයි.