April 8, 2025

2024 වසරේ ජන හා නිවාස සංගණනය ප්‍රතිඵල නිකුත් වී තිබේ.

ඒ අනුව, මෙවර සංගණනයේදී අනාවරණ වී ඇති පරිදි මෙරට ජනගහනය 21,763,170 කි.

2012 වසරේදී සිදු කළ ජන හා නිවාස සංගණනයට සාපේක්ෂව සලකා බලන විට එම වසරේදී වාර්තා වූ මුළු ජනගහනයට වඩා මෙවර ජනගහනය 1,403,731ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

2001-2012 අන්තර් සංගණන කාල පරිච්ඡේදය සැළකුවිට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.7 කි.

මෙවර 2012-2024 අන්තර් සංගණන කාල පරිච්ඡේදය සැලකූ විට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.5 ක් වේ.

මෙමගින් පැහැදිළි වන්නේ මෙරට ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහනය වර්ධනය වෙමින් පවතින බවයි.

ශ්‍රී ලංකාවේ පළාත් අනුව ජනගහනය සැලකුවිට මුළු ජනගහනයෙන් සියයට 28.1 ක වැඩිම ජනගහනයක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින අතර සියයට 5.3ක් වූ අඩුම ජනගහනයක් පදිංචිව සිටින්නේ උතුරු පළාතේය.

දිස්ත්‍රික්ක මට්ටමින් ජනගහන ව්‍යාප්තිය සැලකුව හොත් වැඩිම ජනගහනයක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් 2,433,685 කි.

දෙවන වැඩිම ජනගහනයක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එහි ජනගහනය 2,374,461 කි.

මේ අනුව මිලියන 2 කට වැඩි ජනගහනයක් පදිංචිව සිටිනුයේ මෙම දිස්ත්‍රික්ක දෙක තුළයි.

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැරුණු විට පෙර සංගණනවලදී මෙන්ම මෙවරද වැඩි ජනගහනයන් පිළිවෙලින් වාර්තා වන්නේ පහත දිස්ත්‍රික්කවලයි.

කුරුණෑගල – 1,760,829
මහනුවර – 1,461,269
කළුතර – 1,305,552
රත්නපුර – 1,145,138
ගාල්ල – 1,096,585

ඉහත සෑම දිස්ත්‍රික්කයකම මිලියනයකට වැඩි ජනගහනයක් පදිංචිව සිටියි.

පෙර සංගණන වලදී මෙන්ම, මෙවරද දිවයිනේ ජනගහනය අඩු දිස්ත්‍රික්ක ලෙස උතුරු පළාතේ මුලතිව් (122,542), මන්නාරම (123,674), කිලිනොච්චි (136,434) සහ වවුනියා (172,257) දිස්ත්‍රික්ක වාර්තා වී ඇත.

සියයට 2.23 ක වැඩීම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලති වූ දිස්ත්‍රික්කයෙන් ය.

අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වන්නේ වවුනියා දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රතිශතය 0.01% කි.

පෙර සංගණන වලදී මෙන්ම මෙවරද, වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 3,549 ක් වූ වැඩිම ජනගහන ඝනත්වයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, අවම ජනගහන ඝනත්වයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි.

එහි ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 50කි.