April 8, 2025

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග හෙළාදකින ස්ටිකරයක් අලවා ඇති බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මොහොමඩ් රුෂ්ඩි නම් තරුණයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ CCTV දර්ශනවලින් ඔහු ස්ටිකරය අලවා ඇති බව වාර්තා වීමෙන් පසු, මොහොමඩ් රුෂ්ඩි පසුගිය මාර්තු 22 වැනි දින ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයක් තුළ ඇති වෙළඳසැලක විකුණුම්කරුවකු ලෙස සේවය කරමින් සිටියේය.

පොලිසිය කියා සිටියේ මෙම තරුණයා අන්තවාදී අදහස්වලට සම්බන්ධ බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයා විසින් මාස තුනක රැඳවුම් නියෝගයක් නිකුත් කර ඇති බවත්ය.

මෙම අත්අඩංගුවට ගැනීම දැඩි විවේචනයන්ට ලක්වූ අතර, ජනමාධ්‍යවේදී ශාලික විමලසේන සිය ෆේස්බුක් පිටුවේ ඒ සම්බන්ධයෙන් මෙසේ සටහනක් තබා ඇත.

දින 90කට රැඳවුම් නියෝග ගැසූ ස්ටිකරය ඇලවූ තරුණයා දින 16කින් එළියට ආවේ කෙසේද?

ඊශ්‍රායලයට අපහාස වන ආකාරයේ ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යොදා ගනිමින් අත්අඩංගුවට ගෙන දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන සිටි තරුණයා ඇප පිට නිදහස් කර තිබේ.

ඒ, ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ය.

නිට්ටඹුවේ පදිංචි 22 හැවිරිදි මොහොමඩ් රුෂ්ඩි පසුගිය මාර්තු 22දා මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ස්ටිකර් ඇලවීම සම්බන්ධව ලද තොරතුරක් මත, ශ්‍රී ලංකා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ බවයි. එම විමර්ශනයේදී මෙම ක්‍රියාව සිදුකරන ලද තරුණයා සම්බන්ධව හෙළිදරව් වූ තොරතුරු අනුව, ඔහු හුදෙක්ම ස්ටිකරයක් ඇලවීමේ ක්‍රියාවෙන් ඔබ්බට වු යම් දැඩි මතධාරියෙකු බවට අනාවරණය වීම සහ විමර්ශනයේදී අනාවරණය වූ සෙසු වැදගත් තොරතුරු වලට ද අනුව, යම් ආකාරයකින් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට ප්‍රවේදීතාවයක් දක්වන පුද්ගලයෙකු බවට තිබූ සාධාරණ සැකය මත මෙමඅත් අඩංගුවට ගැනීම සිදු කළ බව ද සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් මේ තරුණයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවීම දැඩි විවේචනයට ලක් විය.

((මාර්තු 30 මම මෙහි මෙසේ ලිවීමි.))

ස්ටිකරය ඇලවූ තරුණයා හිරකරමින් “ආණ්ඩුව” සෙල්ලම් පෙන්වන්නේ තමන්ට ම ද?

ඊශ්‍රායලයට එරෙහි ප්‍රකාශයක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් රඳවා තබා විමර්ශන සිදුකරයි.

ඔහු කර ඇත්තේ කොළඹ පිහිටි ප්‍රකට සාප්පු සංකීර්ණයක, නිශ්චිත ස්ථානයක ස්ටිකරයක් ඇලවීමකි. පොලිස් මාධ්‍ය කොට්ඨාසයට අනුව ඔහුට එරෙහිව වෙනත් චෝදනා නැත. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අනුව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක ය, දැනට රැඳවුම් භාරයේ සිටින තරුණයා පිළිබඳ විශේෂ කරුණු කිසිවක් අනාවරණය වී නැත.

විධිමත් ක්‍රමවේදයකට අනුව ඒවා ක්‍රියාත්මක විය යුතු එක වෙන ම කතාවකි.

එහෙත්,
ස්ටිකරයක් ඇලවූ තරුණයකු (දැනට ඇති තොරතුරු අනුව) මෙසේ රාජ්‍ය බලය යොදාගෙන පීඩාවට පත්කිරීම බරපතළ ගැටලුවකි.

එක පැත්තකින් එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති මූලික අයිතිවාසිකමක් වන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය අභියෝගයට ලක් වී තිබේ.
අනෙක් පැත්තෙන් තාවකාලික විධිවිධානයක් ලෙස 1979දී මාස 03කට ගෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසුගිය කාලය පුරා මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ ආකාරයට මෙසේ ක්‍රියාත්මක කිරීම මගින් ආණ්ඩුවේ අපේක්ෂිත ඉලක්ක අභියෝගයට ලක් වී තිබේ.

පොලිසිය මෙහිදී කටයුතු කර ඇති ආකාරය පුරුදු පරිදිම අත්තනෝමතික ය. ගැටලුව ඇත්තේ එය පලස්තීන සහයෝගිතාව මත පිහිටා කටයුතු කළ ආණ්ඩුවක් අනුමත කරන්නේද, නැතහොත් මේ පිළිබඳව ඔවුන් කුමන ස්ථාවරයක් දරන්නේද යන්න ය. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අර්බුද හදන බවක් ද පෙනෙන මෙවැනි දේ පිටුපස වෙනත් ඉලක්ක ද තිබිය හැකිය.

උදාහරණයක් ලෙස එල්ලෙන්නට වැල් නැති අන්තවාදී කණ්ඩායම්වලට මේවාගේ එල්ලී දුර ගමන් යා හැකිය. අන්තවාදයට තීරණාත්මක බලයක් නැති වූ ප්‍රධාන මැතිවරණ දෙකකින් ආණ්ඩුව බලයට පත්වුවද, අන්තවාදී උපක්‍රම ක්‍රියාත්මක කරන කණ්ඩායම් සිටින්නේ අඩිය පස්සට ගෙන කුරුමානම් අල්ලමින් ය.

කවර තත්ත්වයක් යටතේ වුවද,

මේ ස්ටිකර් සිදුවීම ඉදිරියට ගෙනයෑම ආණ්ඩුවට හොඳක් කරන්නේ නැත. මතක තබා ගත යුත්තේ මේ ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කරන්නේ කුමක්ද යන්නයි. තමන්ට ම සෙල්ලම් පෙන්වීම නොකළ යුත්තකි.

‘ආපසු ගන්න බැරි පියවරක් තියන්න කලින් හොඳින් හිතලා බලපන්.’

ආණ්ඩුවට ද අදාළ මේ කතාව තියෙන්නේ ඊ.එල්.වොයිනික්ගේ ඇට මැස්සා පොතේ ය. එහි සිංහල පරිවර්තනය සුගතපාල ද සිල්වාගේ ය.