March 28, 2025

ලයිකා සමූහය විසින් ජනමාධ්‍ය ආයතන 11 කට අධික සංඛ්‍යාවක් සහ විකාශන බලපත්‍ර ලබාගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

ඒ, සමාජ ක්‍රියාකාරියකු වන ජාමුණි කමන්ත තුෂාර විසින් ගොනුකරන ලද අදාළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුවය.

ජාතික ආරක්‍ෂාවට බරපතල තර්ජනයක් ඇති බව පෙන්වා දෙමින් EAP සමූහ ව්‍යාපාරය සතුව තිබූ බලපත්‍ර ඇතුළු ජනමාධ්‍ය සහ විකාශන බලපත්‍ර ලබාගැනීමේදී ලයිකා සමූහය ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය කර ඇති බව පෙත්සම්කරු පවසයි.

ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම විභාගයට අවසර ලබා දී තිබේ.

ජනාධිපති නීතිඥ උදිත එගලහේවා සමඟ නීතිඥ එන්.කේ.අශෝක්භාරන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටියහ.

වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් හිටපු නීතිපති (විශ්‍රාමික) සංජය රාජරත්නම්, ජනාධිපති නීතීඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර සහ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පෙනීසිටියහ.

රජයේ පාර්ශ්ව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන සහ අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන පෙනීසිට තිබේ.

පෙත්සම 2025 දෙසැම්බර් 2 වැනි දිනට විභාගයට ගැනීමට නියමිතය.