March 19, 2025

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පසුගිය මස කොළඹ 12, පරණ යොන් වීදිය පිහිටි ෆර්වින් ට්‍රේඩර්ස් නමැති ආයතනයේ සිදුකරන ලද වැටළීමකදී කීරි සම්බා සහල් තම සන්තකයෙහි තබාගන නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධව එම වෙළඳසැලෙහි හිමිකරු වන අබ්දුල් ජබ්බාර් මොහොමඩ් සීයාස් සහ එහි කළමනාකරු වන කුරුප්පන් මුරුගයියා යන අයට එරෙහිව පසුගිය මස 11 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයහි (අංක 5) නඩු පවරන ලදී.

අදාළ නඩුවේදී ඉහත පුද්ගලයන් විසින් පෙබරවාරි මස 11 දින වරද පිළිගැනීමෙන් පසුව, අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10000.00 බැගින් රුපියල් 20000.00 ක දඩ මුදලක් නියම කෙරිණි.

එහිදී එම වෙළදසැලේ සඟවා තබා තිබියදී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 5 ඇසුරුම් 3000ක් ද නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, ඊයේ (18) අධිකරණය විසින් රුපියල් මිලියන 3.8 කට වැඩි වෙළඳපොළ වටිනාකමක් සහිත එම සහල් තොගය රාජසන්තක කරනු ලැබීය.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතට අනුව භාණ්ඩ තම සන්තකයේ තබාගෙන නොමැතිබව ප්‍රකාශ කළ අවස්ථාවක අදාළ වෙළෙන්දා වැරදිකරු වූවහොත්, ඊට අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට අධිකරණයට හැකියාව ඇත.