March 19, 2025

නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ කලහකාරි ලෙස හැසිරි රෝහලේ සේවකයින්ට පරුෂ වචනයෙන් බැන වැදුණු යුධ හමුදාවේ හිටපු මේජර්වරයකු අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසිය කියයි.

සැකකාර මේජර්වරයා නිවාඩුවක් ගතකිරිම සදහා නුවරඑලිය ප්‍රදේශයට පැමිණ බිමත්ව බිම වැටි සිටියදි තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණ ඇත.

එම අවස්ථාවේ රෝහලේ සේවය කරන සේවකයකු විසින් තුවාල ලබා සිටි මේජර්වරයා රෝහලට ඇතුළත් කර ගැනිමේදී ඔහුට ගරු නොකර කතාකළ බව පවසමින් සැකකාර මේජර්වරයා උඩුකය නිරුවත්ව රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ සේවකයන්ට පරුෂ වචනයෙන් බැනවැදී ඇතැයි වාර්තා වෙයි.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහරෝහලේ අධ්‍යක්ෂකවරයා පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන රෝහල තුළදීම ප්‍රතිකාර ලබාදිමට නුවරඑලිය පොලිසිය කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ‘දිනමිණ’ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්නගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ, බීමත්ව බිමවැටී තුවාල ලබා රෝහලට පැමිණි මේජර්වරයකු යැයි පවසන පුද්ගලයා රෝහලට ඇතුළත් කිරිමේදි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකු සමග බහින්බස් වීමක් සිදුවී ඇති බවත්, පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලිමට ගිය තමන්ටද මේජර්වරයා පරුෂ වචනයෙන් බැනවැදුණු බවත්ය.

අත්අඩංගුවට ගත් මේජර්වරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නුවරඑලිය දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබයි.