March 19, 2025

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප් කමිටුව) රැස්වීමේදී තමාට අවමන් සහගත ප්‍රකාශයක් කළ බව පවසමින් එම කාරක සභාව තුළ විනය තහවුරු කරන ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී කෝප් කමිටු සාමාජිකයකු තමන්ව ‘බදුල්ලේ බඩා’ ලෙස හැඳින්වූ බවයි.

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09 දෙනා අතරින් විශාල බඩක් ඇති එකම මන්ත්‍රීවරයා තමන් බව සඳහන් කළ ඔහු පෙන්වාදුන්නේ, මෙවැනි වැදගත් කමිටුවකදී මෙවැනි ප්‍රකාශ සිදුකිරීම කණගාටුවට කරුණක් බවයි.

“බදුල්ලේ වෙන බඩවල් තියෙන අය නෑ. පාර්ලිමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන අයගෙන් සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයාට බඩක් නැහැ. බදුල්ලේ මන්ත්‍රීවරුන් 09 දෙනාගෙන් මට විතරයි බඩක් තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම එය මට කියූ දෙයක්. ඒ වගේම රැස්වීමේ සාකච්ඡාවට අනුව මම මැණික් හා ස්වර්ණාභරණ අංශය භාර හිටපු අමාත්‍යවරයා.” ඔහු පැවසීය.

“සභානායකතුමා පසුගියදා පාර්ලිමේන්තුවට කිව්වා විනීතව හැසිරෙන්න කියලා. කෝප් කමිටුවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැතත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්නවා” ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් රූපවාහිනියෙන් විකාශය වන මෙවැනි වැදගත් කමිටු රැස්වීම්වලදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙන ලෙස ද චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.