March 19, 2025

දීප ව්‍යාප්ත ආපදා තත්වයන් පිළිබඳ සාරාංශයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ වාර්තා කළේ, මොණරාගල, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මාර්තු 10 සහ 13 දිනවල සිදුවූ වන අලි පහරදීම්වලින් පුද්ගලයන් සිව්දෙනකු මියගොස් ඇති බවයි.

එමෙන්ම ස්වභාවික විපත් හේතුවෙන් පුද්ගලයන් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දිස්ත්‍රික්ක දහයක පවුල් 60 ක පුද්ගලයන් 214 දෙනකු පීඩාවට පත්ව සිටින බව ද එම මධ්‍යස්ථානය පවසයි.

දියේ ගිලීම් සහ ගස් කඩාවැටීම් හේතුවෙන් ගාල්ල ප්‍රදේශයෙන් මරණ 02 ක් සහ පුත්තලම ප්‍රදේශයෙන් එක් මරණයක් වාර්තා වී ඇත.

අධික සුළං තත්ත්වය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා තිබේ.

රත්නපුර, කෑගල්ල, යාපනය , ත්‍රිකුණාමලය , අනුරාධපුර සහ ගාල්ල යන ප්‍රදේශවල නිවාස හතළිස් හයකට සුළං හේතුවෙන් අර්ධ හානි සිදුව ඇත.

ඊට අමතරව අධික සුළං තත්ත්වය හේතුවෙන් යාපනයේ එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හයක් අඩි හතරකින් විවෘත කර ඇති අතර, කලා වැව සහ රාජාංගනය ජලාශවල වාන් දොරටු හතරක් අඩි දෙක බැගින් විවෘත කර තිබේ.

හදිසියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ගංඟාවේ පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත.

මේ අතර, ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ 12 කණුව ප්‍රදේශයේ එක් මංතීරුවක් අද සිට පැය 24 පුරාම වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

මීට පෙර එම මාර්ගය සුළු නාය යෑමක් හේතුවෙන් සවස 6.30 සිට උදෑසන 06 දක්වා වසා දමා තිබිණි.

හාලිඇල මාර්ගයේ දෙමටවල්හින්න මාර්ගය ද සුළු නායයෑම් හේතුවෙන් දින කිහිපයක සිට තාවකාලිකව වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.