March 18, 2025

රත්නපුර, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල යන රෝහල් 05 සඳහා උසස් තාක්ෂණයෙන් යුත් Infinity රේඛීය ත්වරක යන්ත්‍ර ස්ථාපිත කිරීමටත්, එම යන්ත්‍ර ස්ථාපිත කිරීමට හැකි වන අයුරින් අදාළ රෝහල් තුළ බංකර ඉදි කිරීම සඳහා පියවර ගැනීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ නිර්දේශ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද සැලකිල්ලට ගනිමින් එම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරක යන්ත්‍ර 14ක් අදියර 2ක් යටතේ සැපයීම සඳහා 2013 වර්ෂයේදී එක්සත් රාජධානියේ Elekta සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගිවිසුමකට එළඹ ඇත.

ඒ අනුව, එම ව්‍යාපෘතියේ I අදියර යටතේ ජාතික පිළිකා ආයතනයේ රේඛීය ත්වරක යන්ත්‍ර 04ක් ද මහනුවර ජාතික රෝහලේ යන්ත්‍ර 02ක් ද, ගාල්ල ජාතික රෝහලේ 01ක් ද, මඩකළපුව ශික්ෂණ රෝහලේ යන්ත්‍ර 01ක් ද, යාපනය තෙල්ලිපලෙයි මූලික රෝහලේ යන්ත්‍ර 01ක් ද වශයෙන් යන්ත්‍ර 09ක් මේ වන විට ස්ථාපිත කර තිබේ.