March 18, 2025

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් බව පවසමින් කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනය හරහා පුද්ගලයන් 15,000ට වැඩි පිරිසකගෙන් රුපියල් කෝටි 200 ට අධික මුදලක් ලබාගෙන වංචාවක් කළ බව කියන ’ස්මාට් වින් ප්‍රයිවට් ලිමිටඩ්’ නමැති ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන මංජුල වීරසිංහ නමැත්තා මෙම මස 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (17දා) නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි සෙසු සැකකාර අධ්‍යක්ෂවරුන් දෙදෙනා ඇප මත මුදාහරින ලෙසටද අධිකරණයෙන් නියම විය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියාසිටියේ වල්ලපට්ටා වගාව පවත්වාගෙන යන මුවාවෙන් මොවුන් මෙම පිරමීඩාකාර මූල්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත්, දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 15,000ට අධික පිරිසක් මෙම මූල්‍ය වංචාවට හසුව ඇති බවත්ය.

මහ බැංකුවේ නීත්‍යනුකූල අයිතියක් නොමැතිව සිදුකර ඇති මෙම පිරමීඩාකාර ගනුදෙනුව හරහා මෙම අධ්‍යක්ෂවරුන් තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 200ට අධික මුදලක් වංචා කර ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

කුරුණෑගල, අනුරාධපුර, පුත්තලම, ආණමඩුව හලාවත, මොනරාගල, අම්පාර, ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් මෙන්ම විදෙස්ගතව රැකියාවල නිරතව සිටින පුද්ගලයන් පිරිසක්ද මෙම වංචාවට හසුව ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවැසීය.

එක් වල්ලපට්ටා පැළයක් වෙනුවෙන් රුපියල් 30,000ක මුදලක් මොවුන් එක් තැන්පත්කරුවකුගෙන් ලබාගෙන ඇති බවද, ඒ අනුව ඇතැම් තැන්පත්කරුවන් රුපියල් තිස්දහසේ සිට ලක්ෂ 5, 10, 15, 30, 40, 50 වශයෙන් එම නීතිවිරෝධී ආයතනයට මුදල් ආයෝජනය කර ඇති බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවිය.

වීරතුංග ආරච්චිගේ ප්‍රීති කොස්තා නමැත්තකු ඇතුළු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවද පැවැසූ එම නිලධාරීන්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියාසිටියේ සිද්ධියට සම්බන්ධ තවදුරටත් විමර්ශන කටයුතු පවත්වාගෙන යන බවත්, මෙම වංචාවට අදාළව තවත් සැකකරුවන් හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත්ය.(මව්බිම)