March 18, 2025

මත්ද්‍රව්‍ය වැටළීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් ‘තාජු’ නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඊයේ(17) රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ පළාගොස් සිටියදීය.

සුනිමල් කුමාර නොහොත් ‘තාජු’ නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදාගේ’ සහෝදරයෙක් බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

ගල්කිස්ස පොලිසියට අනුයුක්ත බඩෝවිට පොලිස් මුරපොළේ නිලධාරීන් පිරිසක් පසුගිය 16 වැනි දා පස්වරුවේ බඩෝවිට අදියර තුන ප්‍රදේශයේ විශේෂ මත්ද්‍රව්‍ය වැටළීමක් දියත්කර තිබිණි.

පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට වැටළීම අතරතුර ලද තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරු අත්අඩංගුවට ගැනීමට ගොස් තිබුණේ කොස්තාපල්වරයකුද ද සමගය.

එහිදී ප්‍රදේශයේ මාර්ගයක් අසළ රැඳී සිටි සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී ඇති අතර, ඒ අනුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන තිබිණි.

අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් සැකකරු පොලිසිය සමග පොරබදා ඇති අතර එහිදී ඔහු කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් තුවාල සිදුකර පළාගොස් තිබේ.

පිහි ඇනුමෙන් උරහිසට හා උදරයට සිදු වූ තුවාල හේතුවෙන් කොස්තාපල්වරයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.