March 17, 2025

විදුලි පරිභෝජනය අඩුවන ඉරිදා දිනවල නිෂ්පාදනය සීමාකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කුඩා ජල විදුලි බලාගාර සඳහා දැනුම් දී ඇති බව එම සමාගම් තහවුරු කර තිබේ.

ඒ අනුව කුඩා ජලවිදුලි බලාගාර 30ක් 2025 මාර්තු 2 වැනි දින සිට පෙරවරු 11 සිට පස්වරු 02 දක්වා වසාදමන ලෙස ඉල්ලීමක් කර ඇතැයි කුඩා ජල විදුලි සංවර්ධකයන්ගේ සංගමයේ සභාපති තුසිත පීරිස් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

අනතුරුව මාර්තු 9 වැනිදා එම කාලය තුළදීම කුඩා ජලවිදුලි බලාගාර 40ක පමණ නිෂ්පාදනය සියයට 50කින් කපාදැමීමට ද විදුලිබල මණ්ඩලය උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසා ඇත්තේ, මෙම සැලසුම් නොකළ කප්පාදු කිරීම් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය අනුමැතිය ඉල්ලා නොසිටි බවයි.

කෙසේවෙතත් ප්‍රකාශකයකු තහවුරු ක‍ර ඇත්තේ විදුලිබල මණ්ඩලය සහ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් අතර අත්සන් කර ඇති ගිවිසුම් සීමාකිරීම් සඳහා ප්‍රතිපාදන නොමැති බව සහ දැනට සංවර්ධකයන්ට වන්දි ගෙවීමට යාන්ත්‍රණයක් නොමැති බවයි.

2025 පෙබරවාරි 9 වන දින රටපුරා විදුලිය බිඳවැටීමෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලය මෙම පියවර ගෙන තිබේ.

කුඩා ජල විදුලි බලාගාරවල සාමාන්‍ය ගාස්තුව කිලෝවොට් පැයකට රුපියල් 8-9ක් පමණ වන බව තුසිත පීරිස් පෙන්වාදෙයි.

“එමනිසා, විදුලිබල මණ්ඩලය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යනු ලබන, අඩුම පිරිවැය සහිත බලාගාරවලින් විදුලිය ලබාගැනීම කප්පාදු කරනවා. එහි තර්කය මොකක්ද? ඒ සමගම ලංකා විදුලිබල මණ්ඩලයේ සුළං බලාගාර අඛණ්ඩව ක්‍රියාත්මක වුණා. අපි ලංවිමෙන් අහන්නේ, විදුලිය ඇනහිටීමෙන් පස්සේ පෙබරවාරි මාසයේ දී මේ සියල්ල ආරම්භ වුණේ ඇයි කියලා” ඔහු ප්‍රශ්න කරයි.