March 16, 2025

බටලන්ද කොමිෂන් සභා වාර්තාව දේශපාලනික අවශ්‍යතා මත නිර්මාණය කළ එකක් බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ.

විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ පැවසුවේ, කොමිසම තමා අපකීර්තියට පත්කිරීමේ එකම අරමුණින් පිහිටුවන ලද නමුත් එහි අරමුණ සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වූ බවයි.

1988-1990 කැරැල්ල අතරතුර පොලිස් නිලධාරීන් සඳහා නිවාස පහසුකම් සැලසීම සඳහා ඔහුගේ මැදිහත්වීම පමණක් වාර්තාවේ සඳහන් කර ඇති නමුත් වෙනත් කිසිදු චෝදනාවකට ඔහුව සම්බන්ධ කර නොමැති බව ඔහු පවසයි.

2000 දී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කිසිදු පක්ෂයක් ඒ පිළිබඳව විවාදයක් ඉල්ලා නොසිටි බව හිටපු ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ නිකුත් කළ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.

“ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමේන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ඇති කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අවස්ථාවේ රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර් ජයවර්ධන මැතිතුමා විසින් කැබිනට් ඇමතිවරුන්ට පැවරුවා. බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් බලාගාරය, මහවැලියේ සිට කොළඹට විදුලි බලය ලබා දෙන මධ්‍යස්ථානය, වෙළඳ කළාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තිබුණා. එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදාව කැඳවණු ලැබුවා.

ආරක්ෂක අංශවලට රැඳි සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සමාගමට අයත් ඒ වන විට අතහැර දමා තිබූ ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබා දීමට තීරණය කෙරුණි. ඒ වනවිටත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එම නිවාස කිහිපයක පදිංචිව සිටියා. මේ භීෂණ කාලය තුළදී සපුගස්කන්ද පොලිස් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මරා දැමුවා. ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය ඇමති රංජන් විජේරත්න මහතා මට කතා කර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධව නිවාස සංකීරණයේ හිස්ව පැවැති නිවාස ඔවුනට ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව එවකට ඈවරකරු මගින් අදාළ නිවාස කැළණි පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ මහතා වෙත පැවරීමට පියවර ගත්තා. පළාත් සභා මන්ත්‍රීවරයෙකු, සමූපකාර සභා මන්ත්‍රීවරයෙකු, පොලිස් සාජන්වරයෙකු ඇතුළු කීප දෙනෙකු ඝාතනය කිරීම මේ අතරවාරයේදී සිදුවුණා. ඒ සමග තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට පහරදීමක් සිදුවුණා.

කඩාවැටුණු ජන ජීවිතය, ආර්ථිකය ගොඩනගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව සහතික කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා. 1994න් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වදකාගාරයක් තිබේදැයි සෙවීමට කොමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳෙව්වා. මාව මෙහි කැඳෙව්වේ සාක්කිකරුවෙක් ලෙස පමණයි. ඒ වනවිට මම රටේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළා.

බටලන්ද කොමිසම පත්කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් අරමුණු කරගෙනයි. නමුත් එම උත්සාහය සාර්ථක වුණේ නෑ. වාර්තාවේ තීරණවල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරී මගින් පොලිස් නිලධාරීන්ට නිවාස ලබා දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස භාරදී අදාළ නිලධාරීන්ට පැවරීමයි.

මේ ක්‍රියාකාරීකම නිසා මමත් නලීන් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වන වෙනත් කිසිදු කරුණක් මට අදාළ වෙන්නේ නෑ.

ජනතා විමුක්ති පෙරමුණ 1988-90 කාලයේදී කළ ත්‍රස්තවාදී ක්‍රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සභාපති නිරීක්ෂණවලට දැක්වෙනවා. එහි පසුබිමත් කියනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්‍රස්තවාදී ක්‍රියා ගැන කොමිෂන් සභා වාර්තාවේ 03 වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වෙනවා. මුළු ඉතිහාසයම එහි ඇතුළත් කර තිබෙනවා. ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාළ වන්නේ නෑ. ඒ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

බටලන්ද කොමිෂන් වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටවත් චෝදනා කළ නොහැකියි. වර්ෂ 2000දී පාර්ලිමේන්තු සැසිවාරයක් හැටියට එය තිබුණා. නමුත් කිසිවෙකුත් එය විවාද කිරීමට ඉල්ලීමක් කළේ නෑ. අඩුම තරමේ ජනතා විමුක්ති පෙරමුණවත් එවැනි ඉල්ලීමක් කළේ නෑ. බොහෝ දෙනක් වාර්තාව පිළිගත්තෙත් නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකියි.

බලයට පත්වූ කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බවද කිව යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාවක් අවුරුදු 25කින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රදායක් මේ රටේ හෝ අනෙක් පාර්ලිමේන්තුවලවත් නැහැ”