March 16, 2025

කොළඹ නගරාධිපති අසුන සඳහා මේ වනවිට තියුණු තරගයක් නිර්මාණය වෙමින් පවතී.

ඒ අනුව එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ප්‍රකට චරිත කිහිපයක්ම කොළඹ නගරාධිපතිධූරය සඳහා තරග වැදීමට නියමිතය.

හිටපු නගරාධිපතිවරුන්, ප්‍රධාන දේශපාලන චරිත සහ සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් බැහැර පුද්ගලයෝ පවා විශාල දේශපාලන පක්ෂ යටතේ කොළඹ නගරාධිපතිධූරය සඳහා තරඟ කිරීමට සූදානමින් සිටිති.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය සතියේ නිවේදනය කළේ, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහනගර සභාව සඳහා නගරාධිපති අපේක්ෂකයා වන බවයි.

සමගි ජනබලවේගයේ පුරපති අපේක්ෂකයා ලෙස යෝජනා කිරීම සඳහා හිටපු අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නගේ නම සහ තවත් ප්‍රමුඛ පෙළේ නම් කිහිපයක් සළකා බලන බව සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.

“අපි තවමත් විකල්ප සමාලෝචනය කරමින් සිටිනවා. තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ.” ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසීය

මේ අතර සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුජිබර් රහුමාන් The Sunday Times වෙත පවසා ඇත්තේ, “නගරාධිපතිවරයා සඳහා නම් කිහිපයක් සළකා බලමින් සිටිනවා. පක්ෂය තවමත් ඒවා සමාලෝචනය කරමින් පවතින්නේ. දිනක් දෙකක් ඇතුළත අපි අපේ අපේක්ෂකයා ගැන තීරණය ගැනීම අවසන් කරනවා.” යනුවෙනි.

එමෙන්ම සමගි ජනබලවේගයේ තවත් මූලාශ්‍රයක් උපුටා දක්වමින් The Sunday Times වාර්තා කර ඇත්තේ, කොළඹ පුරපති ධූරය සඳහා නම් තුනක් සළකා බලමින් සිටින අතර හිටපු නගරාධිපතිවරයකු සහ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නම් ද ඒ අතර වන බවයි.

එක්සත් ජාතික පක්ෂය විසින් සළකා බලනු ලබන අපේක්ෂකයන් අතරට හිටපු නගරාධිපති රෝසි සේනානායක සහ අසාද් සාලි ද වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන අපේක්ෂකයා පිළිබඳව අදහස් දක්වමින් පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් The Sunday Times වෙත පවසා ඇත්තේ ”අපේ හිතෙත් අපේක්‍ෂකයෙක් ඉන්නවා, නමුත් අපි තවම එය හෙළිකිරීමට සූදානම් නැහැ. සඳුදා වන විට අපි නිල නිවේදනයක් නිකුත් කරනවා. අපි තෝරාගත් පුද්ගලයා සමඟ සාකච්ඡා කරමින් ඉන්නේ, බොහෝ දුරට, එදිනට අපිට තීරණය තහවුරු කිරීමට හැකිවෙයි” යනුවෙනි.

මේ අතර හිටපු අමාත්‍යවරයකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න The Sunday Times පුවත්පතට පවසා ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කය සඳහා ‘පුටුව’ ලකුණ යටතේ ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුව ඉදිරිපත් කරන බවයි.

”අපි පළාත් පාලන ආයතන 300 කට ද එම ලකුණින් තරඟ කරනවා. උතුරු හා නැඟෙනහිර පළාත් සඳහා අපි ඩග්ලස් දේවානන්දා, වීරේන්ද්‍රන්, මුෂාරක් සහ නසීර් අහමඩ් යන මහත්වරුන් සමඟ ඔවුන්ගේ දේශපාලන පක්ෂ යටතේ පෙළගැසී ඉන්නවා. අපි තවම නගරාධිපති අපේක්ෂකයෙක් නම් කරලා නැහැ. ප්‍රතිපත්තියක් ලෙස, අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ රට පුරා වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයායි. කෙසේවෙතත්, කොළඹට අපේ අපේක්ෂකයා මාර්තු 17 වැනිදා නාමයෝජනා භාරදීමෙන් පසු ප්‍රකාශයට පත්කිරීමට අපි සැලසුම් කරනවා.” ඔහු පවසා තිබේ.

මේ අතර පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ජනරජ පෙරමුණේ තරගකරුවන් කණ්ඩායමක් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී මාර්තු 15 වැනි දින ‘පැන්සල’ ලකුණින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා සිය නාමයෝජනා අත්සන් කර තිබිණි.

පාඨලී චම්පික රණවක එහිදී ප්‍රකාශ කළේ, තෝරාගත් පළාත් පාලන ආයතනවලට පමණක් තරඟ කරන බවයි.

මේ අතර නාමයෝජනා භාරගැනීම අවසන් වූ වහාම මාර්තු 20 වැනිදා පස්වරු 2ට පමණ මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.