March 15, 2025

මෙරට තුළ විලවුන් භාවිතය නියාමනය කිරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් අනවසර ආලේපන සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව වෙළඳපොළේ අලෙවි වන බැවින් එය දැඩි සෞඛ්‍ය ගැටළුවලට තුඩු දී තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වූ පරිදි සමාජය තුළ සෞඛ්‍ය ගැටලු තිබියදීත්, එවැනි තත්වයක් සඳහා නිසි නීතියක් නොමැතිකම ශ්‍රී ලංකාව මුහුණපා සිටින ප්‍රධාන ගැටළුවකි.

වෙළඳපොළේ පවතින භාවිතයට නුසුදුසු සෞඛ්‍යයට අහිතකර තත්ත්වයන් ඇති කළ හැකි බාල තත්ත්වයේ රූපලාවන්‍ය ද්‍රව්‍ය පිළිබඳව පසුගිය කාලය තුළ දැඩි කතාබහක් පැවැතිණි.

සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඒවා භාවිතය නියාමනය කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් කිසිදු ආයතනයකට නීතිමය බලයක් නොමැති බව ද එහිදී අනාවරණය විය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය අනුමත සහතිකය විධිමත් කමිටුවක අනුමැතියකින් තොරව විශේෂ යාන්ත්‍රණයක් හරහා නිකුත් කර ඇති බව කෝප් කමිටුවේදි අනාවරණය විය.

2022, 2023, 2024 වසර සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් කාර්ය සාධනය සමාලෝචනය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්විණි.

මෙම හමුවේදී හදිසි ඖෂධ ප්‍රසම්පාදනය සඳහා ජාතික වෛද්‍ය සංගමයේ මැදිහත්වීම සම්බන්ධයෙන්ද පුළුල් ලෙස සාකච්ඡා සිදුවිය.

විධිමත් කමිටු අනුමත කිරීමේ ක්‍රියාවලිය මගහරිමින්, වේගවත් යාන්ත්‍රණයක් උපයෝගී කරගනිමින් විශේෂ මාර්ගයක් ඔස්සේ ලියාපදිංචි අනුමත සහතිකය නිකුත් කර ඇති බව එහිදී අනාවරණය විය.

හදිසි මිලදීගැනීම් සම්බන්ධයෙන් ඒකපාර්ශ්වික තීරණ ගැනීමට මෙම ක්‍රියාවලිය ප්‍රධාන විධායක නිලධාරියාට ඉඩ ලබා දී ඇත.

මෙම විශේෂ යාන්ත්‍රණයට 2022 වසරේ නිලය දැරූ ප්‍රධාන විධායක නිලධාරියා සම්බන්ධ බවත්, කොළඹ ප්‍රකට හෝටලයක පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී තොග වශයෙන් ඖෂධ මිලදීගැනීම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බවත් වැඩිදුරටත් අනාවරණය විය.