March 15, 2025

දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර පෞද්ගලිකව පරිහරණය කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවද ඔහු කීවේය.

ඔහුට අනුව, හිටපු අමාත්‍යවරයකු වන සාලින්ද දිසානායක කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් අක්කර 76ක් ඔහු පෞද්ගලිකව පිහිටුවා ගත් සමාගමකට පවරාගෙන තිබේ.

හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ හිතවතකුට කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් ඉඩම් අක්කර 21 නිසරු ඉඩම් බව පවසා ලබාදී ඇති බවත් ඊට අත්සන් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ ගේ බිරිඳ අනෝමා ගමගේ කෘෂි ව්‍යාපෘතියකට යැයි පවසමින් ලක්ෂ එකසිය හතළිහක් ලබාගෙන ඇතත් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.

හිටපු නාවික හමුදාපති වසන්ත වසන්ත කරන්නාගොඩට වගා ව්‍යාපෘතියක් කිරීමට රුපියල් ලක්ෂ එකසිය අසූවක් ලබා දී ඇති බව පැවසූ සමන්ත විද්‍යාරත්න, වගා ව්‍යාපෘතියක් සදහා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන බන්දුල වික්‍රමාරච්චිගේ පුත්‍රයාගේ නමට ලක්ෂ අසූදෙකක් ලබාදී ඇති බවද කීවේය.(ලංකාදීප)