March 12, 2025

පෞද්ගලික උපකාරක පන්තියක ගුරුවරයකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

ඔහු සිසුන්ට දණගැස්වීමට බලකර පහර දුන් බවට චෝදනා එල්ල වී ඇත.

සැකකාර ගුරුවරයාට ඊයේ (11) පරීක්ෂණයක් සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබුණද, ඔහු එම දැන්වීම නොසළකා හැර, එහි පෙනීනොසිටි බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

ඒ බව, අධිකරණයට දැනුම්දීමෙන් පසු, අදාළ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.

තවද, මේ සම්බන්ධයෙන් කිහිපදෙනෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇති බව වාර්තා වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

මෙම උපකාරක පන්ති ගුරුවරයා පිරිමි සිසුවෙකුට මුළු පන්තිය ඉදිරියේ දණගැසීමට බලකරන ආකාරය සහ තවත් සිසුවියක් එම දණගැස්වූ සිසුවාට වේවැලකින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල ප්‍රචාරය වී තිබිණි.

ඔහු සිසුන්ට පහර දෙන තවත් වීඩියෝ කිහිපයක් ද සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වී තිබේ.