March 11, 2025

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකළ වකුගඩු ශල්‍යකර්මයකින් පසු හම්දි නමැති දරුවාගේ මරණයට වගකිවයුතු සියලු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරයා බොරැල්ල පොලිසියට නියෝග කර තිබේ.

එම දරුවාගේ මරණයට වගකිව යුතු අපරාධකරුවන් කවුරුන් හෝ කුමන තරාතිරමක සිටිය ද අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළවෙල පොලිසියට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා බොරැල්ල පොලිසියට මෙම නියෝගය කළේ මියගිය දරුවාගේ අගතියට පත් මාපියන් වෙනුවෙන් අධිකරණයේදී මෙතෙක් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා සහ සාක්ෂි මෙන්ම බොරැල්ල පොලිසිය විසින් අධිකරණය හමුවේ හෙළිදරව් කරන ලද කරුණු මත පදනම්වය.

එම වාර්තාවලට අනුව දරුවාගේ වකුගඩු අසාමාන්‍ය ලෙස ස්ථානගත වී ඇති බවට වෛද්‍යවරයා ප්‍රකාශ කළද, පරීක්ෂණවලින් සහ ස්කෑන් වාර්තාවලින් අනාවරණය වී ඇත්තේ එම වකුගඩු දෙක ව්‍යුහ විද්‍යාත්මකව නියමිත ස්ථානවල තිබූ බව පශ්චාත් මරණ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති බවයි.

උපතින් මාස නවයකට පසු හම්ඩි ෆස්ලීම් නමැති එම දරුවාගේ මුත්‍රා පද්ධතියේ සංකූලතා ඇති වී තිබෙන අතර ඒ සඳහා ඔහු රිජ්වේ ආර්යා රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමුකර තිබේ.

ස්කෑන් පරීක්‍ෂණ කිහිපයක් සිදුකිරීමෙන් පසු දරුවාගේ වම් වකුගඩුව අක්‍රිය වී ඇති බව වෛද්‍යවරුන් හඳුනාගෙන එය ඉවත් කිරීමට නිර්දේශ කර ඇත.

2022 දෙසැම්බර් 24 වැනි දින රිජ්වේ ආර්යා රෝහලේදී වෛද්‍ය නවීන් විජේකෝන් විසින් තුන් හැවිරිදි හම්ඩි ෆස්ලීම් වකුගඩු සැත්කමකට භාජනය කර තිබේ.

ශල්‍යකර්මයෙන් දින තුනකට පසු DSMA පරීක්‍ෂණයක් සිදුකර දින දෙකකට පසුව තවත් CT ස්කෑන් පරීක්‍ෂණයක් ද සිදුකර ඇති අතර එහිදී වෛද්‍යවරුන් හෙළිකළේ හම්ඩිගේ වකුගඩු දෙකම අස්ථානගත වී ඇති බවයි.

කෙසේවෙතත්, ඔහුගේ ජීවිතය වෙනුවෙන් මාස 07 ක් පමණ සටන් කළ හම්ඩි 2023 ජූලි 28 වන දින ජීවිතක්ෂයට පත්විය.

සැත්කමෙන් පසු වකුගඩු දෙකම නොසැළකිලිමත් ලෙස ඉවත් කිරීමෙන් දරුවාගේ මරණය සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේවෙතත් වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ දරුවාගේ වකුගඩු අසාමාන්‍ය ලෙස ස්ථානගත වී ඇති නිසා දරුවා දුර්ලභ රෝගී තත්ත්වයකින් පෙළුණු බවයි.