March 9, 2025

පහරදීමක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකුට ලබාදුන් නියෝග ජාතික පොලිස් කොමිසම ඇතුළු අදාළ නිලධාරීන් විසින් මාස හතකට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි අප්‍රසාදය පළකර තිබේ.

අගෝස්තු මස ලබාදුන් නියෝගයේ සහතික පිටපතක් ඉල්ලා ජාතික පොලිස් කොමිසම මාර්තු 3 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලිපියක් යැවීමෙන් පසුව මෙම කරුණ අනාවරණය විය.

දිලිප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ සම්පත් බී. අබයකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළේ, මේ පිළිබඳව සොයාබලා මැයි 8 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින්, සිය වාහනයට ඉස්සර කිරීම හේතුවෙන් පෙත්සම්කරුට පහරදීමෙන් පසු තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් මිෂාර රණසිංහ නමැත්තා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කර තිබේ.

ඩිලාන් නාලක සමඟ පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥ තිෂ්‍ය වේරගොඩ අධිකරණයෙන් ඉල්ලා සිටියේ, නඩුවට අදාළ කරුණු එක්රැස් කිරීම සඳහා පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය ජාතික පොලිස් කොමිසම ක්‍රියාත්මක නොකළේ මන්දැයි කරුණු දැක්වීමට එම කොමිසමේ සභාපතිවරයා කැඳවන ලෙසයි.

මුල්ලේරියාව මූලික රෝහලේ පෙත්සම්කරුගේ ඇඳ ටිකට් පත පවා මේ වන විට අතුරුදන්ව ඇති බව ඔහු අධිකරණයට පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරන ලද විමර්ශනයේ උද්ධෘත ලැබී ඇති බවත්, ඒවායේ අඩංගු කරුණු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතීඥ ක්‍රිසංග ප්‍රනාන්දු දන්වා සිටියේය.

පහරදීමේ සිද්ධියෙන් පසු පෙත්සම්කරු පරීක්‍ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මේ වන විට විදේශගතව සිටින බවත්, මැයි මාසයේදී නැවත පැමිණීමට නියමිත බවත් දැනුම්දෙන ලදී.

ඔහු පැමිණි පසු අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව ඉදිරිපත් කරන බව අධිකරණයට වාර්තා කෙරිණි.

වගඋත්තරකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ කියාසිටියේ, ඔවුන්ට අවශ්‍ය ලිපි ලේඛන ලැබී නොමැති බැවින් විරෝධතා ගොනුකිරීමට කාලය ලබාදෙන ලෙසයි.

පෙත්සම්කරුට පහරදීමේ සිද්ධිය ඇතුළු සමස්ත කාරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සළකාබැලීම සඳහා නඩුව මැයි 30 වැනිදා යළි කැඳවීමට නියමිතය.